ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ඍජු භෞතික හානියක් සිදු කර ඇති බව ඊයේ (දෙසැ. 22) නිකුත් කරන ලද ලෝක බැංකු සමූහයේ GRADE වාර්තාව මගින් ඇස්තමේන්තු කර ඇතත් මෙම රට යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ ඇස්තමේන්තුවක් කිසිඳු ආයතනයකින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ආපදාවෙන් වූ විනාශය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයකට සමාන වනු ඇති බවයි.
මෙම වාර්තාවට අනුව වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය ඩොලර් මිලියන 689ක් ලෙසින් ඇස්තමේන්තු කර ඇත.
එසේම මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය ඩොලර් බිලියන 1.735ක් ලෙසින් ගණනය කර ඇති අතර එය සමස්ත හානියෙන් 42%ක ප්‍රමාණයකි.
ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැගිලිවලට මෙම දිට්වා ව්‍යසනයෙන් සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985කි.
මේ අතර වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සිදුවී ඇති හානිය ඩොලර් මිලියන 814ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර රෝහල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන, මහාපරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562 ක් ලෙසින් ගණන් බලා ඇත.
ආදායමට හෝ නිෂ්පාදනයට අදාළ පාඩු හෝ ප්‍රතිසංස්කරණයේ හෝ යළි ඉදිකිරීම්වල සම්පූර්ණ පිරිවැය වාර්තාවට ඇතුළත් නොවන බව ලෝක බැංකු සමූහය වැඩිදුරටත් සඳහන් කරයි.




