ඉදි කර ඇති බෞද්ධ විහාරස්ථානයක, විහාරාධිපති හිමියන්ට නාහිමි පදවියක් ලබාදීමට විරෝධය පාමින් උද්ඝෝෂණයක යෙදුනු හින්දු පූජකයකු ඇතුළු දෙමළ දේශපාලකයන් අත් අඩංගුවට ගැනීමට විරෝධය පාමින් යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.
‘උතුරු නැගෙනහිර සංස්කෘතික වර්ග සංහාරය නවතනු!’ සටන් පාඨය පෙරටු කර ගනිමින් 2025 දෙසැම්බර් 23 වැනිදා දියත් කළ විරෝධතාවයට නායකත්වය දුන් ශිෂ්‍ය සංගම් නායකයා චෝදනා කර තිබුනේ එම අත්අඩංගුවට ගැනීම තුළ රජයේ අන්ත ඒකාධිපතිත්වය පැහැදිලි වන බවටයි.
"පූජකයෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් මෙම රජයේ අන්ත ඒකාධිපතිවාදය පැහැදිලි වෙනවා."
යාපනය, කන්කසන්තුරය ඓතිහාසික තිස්ස රජමහා විහාරාධිපති සද්ධර්මකීර්ති ශ්‍රී, සාමවිනිසුරු (මුදි) පුජ්‍ය ගිංතොට නන්දාරාම හිමියන් වෙත අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ උත්තර ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනි පත පිලිගැන්වීමේ මහෝත්සවය 2025 දෙසැම්බර් 21 වැනි දින පස්වරුවේ කොළඹ කළපළුවාව ගෝතම තපෝවනයේදී සිදු කර තිබුනේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලි කත්වයෙනි.
අල්ලාගෙන සිටින භූමිය අත් හැරීමම තිස්ස විහාරාධිපති හිමියන්ගේ ගෞරවය පිණිස වන බව එම උත්සවයේදී බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක්ම අනුශාසනා කර තිබුණි.
ගිංතොට නන්දාරාම හිමියන්ගේ පදවි ප්‍රාප්තියට විරෝධය පෑ යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි සහ කෝපායි ප්‍රාදේශීය සභාපති ත්‍යාගරාසා නිරෝෂ් ඇතුලු 5 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මල්ලාක්කම් අධිකරණය විසින් ඔවුන් ඇප පිට නිදහස් කර තිබුනි.
එම පිරිස අත්අඩංගුවට ගන්නා මොහොතේ විරෝධතාවය සදහා එක්ව සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් පොලීසියෙන් ප්‍රශ්න කර තිබුනේ සාමකාමී විරෝධතාවයක යෙදනෙ පිරිස ආයුධ අතට ගෙන මර්දනය කිරීමට යනවාද යනුවෙනි.
"අද මේ විහාරාධිපතිට පිරිනමන පදවියට සහ ඔහුගේ නීති විරෝධි ක්‍රියාමාර්ගවලට එරෙහිව සාමකාමීව සහ සදාචාරාත්මක කරන විරෝධතාවයක්. ඔහෙලා මේක ආයුධ අතට ගෙන මර්දනය කිරීමට යනවාද?"
හමුදා අනුග්‍රහයෙන් කන්කසන්තුරේ, තයියිට්ටිහි ඉදිකර ඇති තිස්ස විහාරයේ ඉඩම් මුල් අයිතිකාර දෙමළ ජනතාවට බාර දෙන ලෙසත් එම විරෝධතාකරුවන් බලධාරීන්ට බල කර තිබුනි.
එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දෙසැම්බර් 21 ක් වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුනේ අධිකරණ නියෝග නඩ කරන ලද සැකකරුවන් පස් දෙනෙකු පලාලි පොලිස්ථානය විසින් අත්අඩංගුවට ගත් බවයි.
2025.12.21 වන දින පලාලි පොලිස් වසමේ තෛයිසෙට්ටි ග්‍රාමසේවා වසමේ පිහිටි තිස්ස විහාරය ඉදිරිපිට එම විහාරස්ථානය පිහිටි ඉඩම සම්බන්ධ ආරවුලක් හේතුවෙන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කරන බවට ලද තොරතුරක් මත පලාලි පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මල්ලාකම් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙතකරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බව එම නිවේදනයේ තව දුරටත් සදහන්ව තිබුනි.
"එම නියෝගය අනුව උද්ඝෝෂණයට සහභාගී වන විරෝධතාකරුවන් ආගමික ස්ථානයේ හෝ ප්‍රධාන ගේට්ටුවේ හෝ වීදියේ හෝ දේවාල පරිශ්‍රයේ හෝ දේවාලයේ පැවැත්වෙන උත්සවයකදී හෝ දේවාල දේපල වලට කිසිදු බාධාවක් හෝ හානියක් නොකල යුතු බවත් සාමය කඩවන ආකාරයෙන් ක්‍රියා නොකල යුතු බවත් සාමය කඩ කිරීමට පොලබවන කිසිදු බැනර් හෝ ප්‍රකාශනයක් ප්‍රදර්ශනය නොකල යුතු බවටත් නීතිය උල්ලංඝනය කරමින් කුඩාරම් ඉදි නොකල යුතු බවටත්, කිසිදු නීතිවිරෝධි පෙලපාළියක් හෝ පෙරහරක් හෝ නීතිවිරෝධී රැස්වීමක් නොපැවැත්විය යුතු බවත් ආගමික ස්ථානයට කිසිදු ආකාරයකින් බාධා නොකළ යුතු බවටත් අධිකරණ ආඥාවක් නිකුත් කර ඇත."
ඒ අනුව, එම විහාරස්ථානය ඉදිරිපිට නීති විරෝධී රැස්වීම, අයුතු අවහිරය, මාර්ග අවහිර කිරීම, සාපරාධි බලහත්කාරය පෑම හා අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනා යටතේ උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් පස් දෙනෙකු පලාලි පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පස්දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි බව පොලීසිය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.
එම නඩුව යළි කැදවීමට නියමිතව ඇත්තේ 2026 ජනවාරි 26 වැනිදායි.
‘අත් හැරියොත් ගෞරවයක්’
තිස්ස විහාරයේ විහාරාධිපති හිමියන්ට අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ උත්තර ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනි පත පිලිගැන්වීමේ අවස්ථාවට එක්ව සිටි පුජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන් එම සභාව අමතමින් අවධාරණය කර තිබුනේ තිස්ස විහාරයේ දෙමළ ජනයා අයිතිය කියා පාන භුමිය ඔවුන්ට නිදහස් කර දීමට හැකිනම් එය විහාරාධිපති හිමියන්ටද මේ අවස්ථාවේ ලොකු ගෞරවයක් බවයි.
"ආයෙත් මාසෙකට පාරක් අර වගේ වීඩියෝස් වැටෙන් නැති වෙන්න මං හිතන්නේ තිස්ස විහාරේ ප්‍රශ්නෙත් අපේ ඇමතිතුමා ඉන්නවා. අපට විසදගන්න පුළුවන්නම් බොහෝම හොදයි. ඕනෑම ගැටළුවක දෙපැත්තක් තියනවා. ඒ නිසා අපට පුළුවන්නම් ඒ දෙපාර්ශවයත් එක්ක අපිට කතා කරලා අපේ පන්සලට අවශ්‍ය කරන ප්‍රමාණවත් භුමි භාගයක් අපට අත් හැරීමට, පරිත්‍යාගය කියන එක අපේ බෞද්ධ දර්ශනයේ තියන දෙයක්. එහෙම අපිට අත් හරින්න පුළුවන් කොටසක් තියනවානම් ඒ ඉල්ලන අයට, දෙමළ ජනතාවට බාර දීලා මං හිතන්නේ අපට මේක විසදගන්න පුළුවන්නම් මුන් වහන්සේගේ නායක පදවිය ගත්ත දවසේ ඒක ලොකු ගෞරවයක්."
තිස්ස විහාරයේ විහාරාධිපති හිමියන්ට අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ උත්තර ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනි පත පිලිගැන්වීමට විපක්ෂ නායකවරයා සමග එක්ව 2025 දෙසැම්බර් 21 වැනිදා කටයුතු කළ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි 2025 සැප්තැම්බර් 26 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට හෙළි කර තිබුනේ හමුදා අනුග්‍රහයෙන් උතුරේ ඉදිකර ඇති තිස්ස විහාරය මේ දක්වාම ලියාපදිංචි කර නැති බවයි.
"යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් උතුර තයියට්ටි ගම්මානයේ තිස්ස විහාරය නමින් විහාරස්ථානයක් තිබෙනවා. ඒක ලියාපදිංචි කරලා නැහැ. ඉඩමේ අයිතිය පිළිබද කරුණු සොයා බැලිය යුතුව තිබෙනවා."
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ එදින වැඩි දුරටත් හෙළි කර තිබුනේ යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් උතුර ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ තිස්ස විහාර කිහිපයක්ම පවතින බවයි.
තිස්ස රජමහා විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.
“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.
"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023 අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත් සදහන් කර තිබේ.





