ව්‍යසනයකින් පසු ආපදා, කළමනාකරණ වෙනුවෙන් බලාත්මක කළ පනතක් ගෙවීගිය දශක දෙක තුළ ඉබි ගමනින් ක්‍රියාත්මක වු ආකාරය දෙමළ ජනතා නියෝජිතයකු පාර්ලිමේන්තුව හමුවේ හෙළි කර තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පත්මනාදන් සත්‍යලිංගම් 2025 දෙසැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ හෙළි කර ඇත්තේ 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතට අනුව ආපදා කළමනාකරණ සභාව සෑම තුන් මසකට වතාවක්ම රැස් විය යුතු නමුත් 2018 වසර දක්වා ගතවු වසර 13 තුළම එය රැස්ව ඇත්තේ 12 වතාවක් පමණක් බවයි.
"2004 සුනාමි ව්‍යසනයෙන් පස්සේ 2005 අවුරුද්දේ අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත කියලා නීතියක් ගෙනාවා. ඒ පනතේ හැටියට මේ පිහිටුවපු ආපදා කළමනාකරණ සභාව හැම මාස තුනකට වතාවක්ම රැස් වෙන්න ඕනේ. හැබැයි මේ වෙනකොට වාර 80ක් විතර රැස් වෙන්න තිබුණු මේ ආපදා කළමනාකරණ සභාව, 2018 වෙනකම් අවුරුදු 13ක් ඇතුළත රැස් වෙලා තියෙන්නේ වාර 12ක් විතරයි. ඒ කියන්නේ අවුරුද්දකට එක පාරයි."
වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මන්ත්‍රීවරයා තව දුරටත් පෙන්වා දී තිබුනේ නව රජය ඉකුත් අගොස්තු මාසයේදී පළමු වතාවට ආපදා කළමනාකරණ සභාව රැස්වන මොහොත වන විට ගෙවී ගිය හත් වසරක් පුරා එම සභාව එකදු අවස්ථාවක හෝ රැස්ව නොතිබු බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය දෙසැම්බර් 15 වැනිදා නිවේදනය කර තිබුනේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වැනි සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එදින පෙරවරුවේ පැවැත්වුන බවයි.
ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව සභාගත කිරීමද එහිදී සිදුවු බව එම මාධ්‍ය අංශය නිවේදනය කර තිබුනි.
"ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව වසර 07කට පසුව පසුගිය අගෝස්තු 07 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, හදිසි ආපදා තත්ත්වය සමඟ නොවැම්බර් 27 වන දා රාත්‍රියේ නැවත රැස් විය. දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් ආයතනික මඟපෙන්වීම වෙනුවෙන් එය අද මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය." එහි තව දුරටත් සදහන්ව තිබුනි.
රටක් ආපදාවකට මුහුණ දුන්නද, නොදුන්නද ඒ සදහා සූදානම් වීමේ වැදගත්කම ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් දෙසැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් අවධාරණය කර තිබුනි.
"නීතියේ කියන්නේ මාස තුනකට සැරයක් මේක රැස් වෙන්න ඕනේ කියලා. එහෙමනම් ආපදාවක් ආවත් නැතත්, එකොළොස්වැනි මාසය වෙනකොට මේ සභාව රැස් වෙලා තියෙන්න ඕනේ. හැබැයි රැස් වුණේ නැහැ. ඉතින් මම කියන්න හදන්නේ, මේ ආපදා තියෙනවද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය. අපි මේ අවම කිරීම, සූදානම් වීම, ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතිසංස්කරණය කියන කාරණාවලදී කොච්චර සූදානම්ද කියන එකයි."
අපදාවකදී අවදානම අඩු කිරීමේ වැඩපිළිවෙළක් මේ දක්වා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කළේය.
"මේ ආපදා වෙලාවේදීවත් අපි අවම කිරීම කියන ඒ අවදානම අඩු කිරීමේ වැඩපිළිවෙළ කරලා තියෙනවද? නැහැ. කඳුකරයේ හැමදාම නායයෑම් වෙනවා, ගංවතුර එනවා. ගංවතුර බැහැලා, පොළොව වේළුණාට පස්සේ ආයෙත් ඒ මිනිස්සුන්ව ඒ හිටපු තැන්වලම ගිහින් පදිංචි කරවනවා. අද ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපේ නෑදෑයෝ, මිනිස්සු කී දෙනෙක් මැරිලා තියෙනවද?"
අපදා කළමනාකරණය වෙනුවෙන් නිසි ලෙස රාජ්‍ය නිලධාරීන් යොදවා නොතිබීම සම්බන්ධයෙන්ද දෙමළ ජනතා නියෝජිතයා පාර්ලිමේන්තු දැනුවත් කර තිබුනේ පහත අයුරිනි.
"මේ පාර වෙච්ච විනාශයේදීත් සූදානම් වීම කියන එක ඇත්තටම තිබුණේ නැහැ. එහෙම නැත්නම් තිබුණේ ඉතාම අඩු මට්ටමක. මේ ආපදා කළමනාකරණ අංශය දිහා බලන්න. ඒ අයට වැඩ කරන්න බැරි තත්වයක් තියෙන්නේ. ලොකු සේවක හිඟයක් තියෙනවා. පුරප්පාඩු පුරවලා නැහැ. හැම පළාතකටම නියෝජ්‍ය අධ්‍යක්ෂ - ආපදා කළමනාකරණ නමින් නිලධාරියෙක් ඉන්න ඕනේ. හැබැයි කොයි පළාතෙද ඉන්නේ? නැහැ. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ආපදා කළමනාකරණ නිලධාරියෙක් ඉන්න ඕනේ. හැබැයි නැහැ. මුළු දිස්ත්‍රික්කයටම ඉන්නේ එක නිලධාරියයි."
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2025 දෙසැම්බර් 17 වැනිදා හවස 4 ට නිකුත් කරන ලද අවසන් යාවත්කාලීන කිරීමට අනුව දිට්වා සුළි කුනාටුව සමග ඇතිවු ගංවතුර හා නායයෑම් වලින් මෙරට මියගිය සංඛ්‍යාව 643 දක්වා ඉහළ ගොස් තිබේ. අවම වශයෙන් පුද්ගලයන් 183 දෙනකු තවමත් අතුරුදහන්ය. දිස්ත්‍රික්ක 25 ක් තුළ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති නිවාස ගණන 6228 කි. දිස්ත්‍රික් 21 ක් තුළ පවුල් 490,385 ට අයත් පුද්ගලයන් 1,702,719 ක් පීඩාවට පත් විය.
අතුරුදහන් පුද්ගලයන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) ප්‍රකාශ කර තිබුණි.




