තත්ත්වයන් හෙළිදරව් කිරීම හේතුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ට ගම්පොල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස සිදු කල දැනුම්දිම සම්බන්ධයෙන් ඔහු ගම්පොල පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. එම්. ඊ. එල්. පෙරේරා වෙත ලිපියක් යොමු කර ඇත.
එම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන දෙසැම්බර් 26වන දින උදෑසන 11.00 ගම්පොල පොලිසියේ පැමිණිලි අංශය වෙත පැමිණ සිටින ලෙස ගම්පහ පොලිසිය මඟින් ඊයේ (23) දිනයේදි දැනුම්දිමක් සිදුකර තිබු නමුත් එම කැඳවිමේ ලිපියේ හේතුව කුමක්ද යන්න හෝ අසත්‍ය තොරතුර කුමක්ද යන්න සඳහන් කර නොතිබු බවයි.
ඒ අනුව ගම්පොල වැඩබල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට ඇමතුමක් ලබා දි කුමන හේතුව මත මෙම කැඳවිම සිදු කලේද යන්න විමසු විට පොලිසියට පැමිණිමෙන් හේතුව දැනගැනිමට හැකිවනු බවට පැවසු බවයි.
පසුව පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දුරකථනයෙන් විමසු අවස්ථාවේදි ඔහුද හේතුව පැහැදිලි නොකිරිම නිසා පුද්ගලයින් පොලිසියට කැඳවීමේදී අනුගමනය කළ යුතු පොලිස්පති චක්‍රලේඛය පිළිබඳව මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන විසින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව, මෙය “අපහාස කිරීම” මුල් කරගෙන සිදුකළ පැමිණිල්ලක් බව අනාවරණය කල බව එම ලිපියේ සඳහන් වේ.
ඒ අනුව මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන දුරකථනයෙන් කල විමසිමේදි අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදල නම් රාජ්‍ය ආයතනයේ කළමනාකරුවෙකු වන එම්.එෆ් භාකිර් නම් පුද්ගලයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙන අතර තරිඳු ජයවර්ධන විසින් ලියනලද ලිපි හා විඩියෝ මඟින් අපහාසයක් වි ඇති බව පවසමින් මෙම පැමිණිල්ල කර තිබෙන බව ගම්පොල පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා පවසා තිබේ.
සිය ලිපියෙන් තරිදු ජයවර්ධන පෙන්වා දෙන්නේ මෙලෙස පැමිණිල්ල සිදු කල පුද්ගලයා අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත අනුව මෙම පැමිණිල්ල කළ පුද්ගලයා සත්‍ය වශයෙන්ම ජෛව විවිධත්ව සංකීර්ණයේ නිලධාරියකු නම් ඔහු රාජ්‍ය නිලධාරියෙක් බවයි.
දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදලේ වංචා දූෂණ ගණනාවක් ගැන ජනමාධ්‍යවේදියකු ලෙස තමා විසින් කරුණු වාර්තා කර ඇති අතර අම්බුළුවාවේ පරිසර හානි ගැන ද අවස්ථා කිහිපයකදී අනාවරණය කර තිබෙන බව සිය ලිපියෙන් පෙන්වා දෙන ඔහු එම ආයතනයේ අනුදැනුම මත පසුගිය දිනෙක අම්බුළුවාව ප්‍රධාන පිවිසුම අසල ත්‍රීරෝදරථ රියදුරන් පිරිසකගෙන් තර්ජන එල්ල වූ බව සඳහන් කරයි.
ඒ අනුව ඔහු සිය ලිපියෙන් අවධාරණය කරන්නේ මෙම පැමිණිල්ල ගොනු කිරීමේ අරමුණම ගම්පොළට නැවත ගෙන්වාගෙන අනතුරක් කිරීමට බව විශ්වාස කරන බවයි.
පොලිසිය නැති බලයක් අතට අරං ....
අපහාසය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිසියට හැකියාවක් නොමැති බැවින් අම්බුළුවාවට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වී ඇති නිසාවෙන් චේතනාන්විතව තමා අපහසුතාවට පත්කිරීම සඳහා අදාල ආයතනයෙන් කළ පැමිණිල්ල සිය ප්‍රකාශයන් නොගෙනම අවසන් කරන ලෙස සිය ලිපියෙන් මාධ්‍යවේදි ජයවර්ධන ඉල්ලා සිටියි.
එලෙස පැමිණිල්ල අවසන් කිරීම සඳහා සිය ප්‍රකාශයක් අත්‍යවශ්‍ය නම් ඒ සඳහා කොළඹ පොලිස් මූලස්ථානයේදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන ලෙසද ඔහු සිය ලිපිය මඟින් ඉල්ලිමක් ද සිදු කර තිබේ.
තවද තරිඳු ජයවර්ධන සිය ලිපිය මඟින් අවධාරණය කර සිටින්නේ අම්බුළුවාව ආගමික මධ්‍යස්ථානය මඟින් පොලිස් නිලධාරීන්ට පවා මුදල් දී ඇති බව විගණකාධිපතිවරයා හෙළිදරව් කර ඇති අතර එය අනීතික ක්‍රියාවක් බව ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබෙන බවයි.
ඒ අනුව යලිත් මෙවැනි ක්‍රියා ඇති නොවීම සඳහා කටයුතු කරන ලෙසත්, අවස්ථා ගණනාවකදී හෙළිදරව් කර ඇතිපරිදි අම්බුළුවාව ආයතනය මගින් පොදු දේපොළ අවභාවිත කිරීම ඇතුළු සිදුවීම් ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් සිය ලිපිය මඟින් ඉල්ලා සිටියි.
මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන විසින් එහි පිටපත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම්වරයා, පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත හා පරාධයක වින්දිතයන් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයේ සභාපතිවරයා වෙත ද යොමු කර ඇත.
තරිදු ජයවර්ධන විසින් යවන ලද ලිපිය පහත පළවේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී එම් ඊ එල් පෙරේරා මහතා,
කොට්ඨාස භාර නිලධාරී,
ගම්පොල.
කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමනි,
අසත්‍ය තොරතුරු මගින් අපහාසයක්වීවැයි ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවීම සම්බන්ධවයි
1. ‘කරුණාකර දැනුම් දෙන්න. මාගේ ස්ථානයේ 2025.12.22 වන දින CIB 1 164/293 පරිදි සිදු කර ඇති අසත්‍ය තොරතුරු පලකිරීමට අදාල පැමිණිල්ලට අදාලව ඔබ පොලිස්වසමේ No.176/3. ඔරුතොට, ගම්පහ පදිංචි තරිඳු ජයවර්ධන යන අයට 2025/12/26 දින පැය 1100ට මාගේ ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පෙනී සිටින ලෙසට දන්වා පිළිතුරු සපයන්න.‘ යනුවෙන් සඳහන් TM 884 දරණ ගම්පොල මූලස්ථාන පොලිසියෙන් එවන ලද පොලිස් පණිවුඩය ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ එනම් 2025 දෙසැම්බර් 23 වැනිදා මාගේ නිවස වෙත ගෙනැවිත් ලබා දී තිබිණි.
2. SC FR 266/2023 දරණ මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව 2025 ජූලි 02 දිනැතිව පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද RTM 101 සහ CRTM 61 අංක සහිත පොලිස්පති චක්‍රලේඛයේ සඳහන්ව ඇත්තේ තැනැත්තන් විමර්ශන සඳහා කැඳවීමේදී අදාල චෝදනාව සහ දෝෂාරෝපනය ගැන ප්‍රමාණවත් දැනුම්දීමක් අදාල තැනැත්තා වෙල ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් ගම්පොල මූලස්ථාන පොලිසියෙන් මා කැඳවීම සදහා ලබා දුන් පොලිස් පණිවුඩයේ කවුරුන් විසින්, කුමන හේතුවක් මත කරන ලද පැමිණිල්ලක් ද යන්නත්, අසත්‍ය තොරතුර කුමක්ද යන්නත්, ජනමාධ්‍යවේදියකු ලෙස මාවිසින් ලියන ලද කුමන ලිපියක කුමන කොටසකින් හෝ මා විසින් පල කරන ලද කුමන වීඩියෝවක කුමන කොටසක අදාල අසථ්‍ය තොරතුර ඇතුළත් වන්නේද යන්න සඳහන් කර නැත.
3. මේ සම්බන්ධයෙන් ගම්පොල වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් දුරකතන ඇමතුමක් මගින් ඊයේ (23) විමසීමේදී, මා කැඳවූ හේතුව දැන ගැනීමට හැකි වන්නේ පොලිසියට පැමිණීමෙන් පසුව බව මුලින් ප්‍රකාශ කළ අතර පසුව පොලිස්පති චක්‍රලේඛය ගැන සඳහන් කිරීමත් සමග එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ දුරකතන අංකය ලබා දුන්නේය. එම අංකයට ඇමතුමක් ගත්විට ද පෙරහා සමාන ප්‍රතිචාරයක් ලැබුණු අතර පොලිස්පතිගේ චක්‍රලේඛය ගැන ද සඳහන් කරමින් ගම්පහ සිට ගම්පොලට හේතුවක් නොදැන පැමිණීම ගැන විමසීමේදී ඔහු පැමිණිල්ලට අදාල තොරතුරු ප්‍රකාශ කළේය.
4. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මට එරෙහිව පැමිණිල්ල කර ඇත්තේ අම්බුළුවාව ජ්‍යෛ විවිධත්ව සංකීර්ණයේ කළමනාකරු සහ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක යැයි කියන එම් එෆ් භාකීර් නම් පුද්ගලයකු බවයි. ජනමාධ්‍යවේදියකු මාවිසින් ලියන ලද ලිපි සහ මා විසින් පල කරන ලද වීඩියෝ මගින් අපහාසයක්වීයැයි කියමින් පැමිණිල්ල මගින් විමර්ශනයක් ඉල්ලා ඇතැයි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
5. අම්බුළුවාව ජ්‍යෛව විවිධත්ව සංකීර්ණය යනු 2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත මගින් ස්ථාපිත රාජ්‍ය ආයතනයක් වන අතර එම පනතේ 14 වැනි වගන්තිය යටතේ අරමුදලේ සියලු නිලධරයන් සහ සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්යය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතුය. එසේම පනතේ 15 වැනි වගන්තිය අනුව අදාල අරමුදල අල්ලස් පනතේ අර්ථානුකූලව උපලේඛනගත ආයතනයක් සේ සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව අදාල කරගනු ලැබිය යුතුය. ඒ අනුව මෙම පැමිණිල්ල කළ පුද්ගලයා සත්‍ය වශයෙන්ම ජෛව විවිධත්ව සංකීර්ණයේ නිලධාරියකු නම් ඔහු රාජ්‍ය නිලධාරියෙකි.
6. දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාසය සම්බන්ධයෙන් තිබූ වරද 2002 අංක 12 දරණ පනත මගින් ඉවත් කෙරුණු අතර ඒ අනුව අපහාසයක් වීම ගැන අපරාධ විමර්ශනයක් පැවැත්වීමට පොලිසියට හැකියාවක් නැත. එසේ තිබියදී රාජ්‍ය ආයතනයක් වන දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල මගින් මෙලෙස මට එරෙහිව පැමිණිල්ලක් කිරීම බරපතල තත්ත්වයක් සේ සලකමි. එය රාජ්‍ය දේපොළ සහ බලය අවභාවිත කිරීමක් ලෙස ද සැලකිය හැකිය.
7. දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදලේ වංචා දූෂණ ගණනාවක් ගැන ජනමාධ්‍යවේදියකු ලෙස මවිසින් කරුණු වාර්තා කර ඇති අතර අම්බුළුවාවේ පරිසර හානි ගැන ද අවස්ථා කිහිපයකදී අනාවරණය කර තිබේ. එම ආයතනයේ අනුදැනුම මත පසුගිය දිනෙක අම්බුළුවාව ප්‍රධාන පිවිසුම අසල ත්‍රීරෝදරථ රියදුරන් පිරිසකගෙන් අපට තර්ජන එල්ල වූ අතර මෙම පැමිණිල්ල ගොනු කිරීමේ අරමුණම ගම්පොළට නැවත මා ගෙන්වාගෙන අනතුරක් කිරීමට බව විශ්වාස කරමි.
8. අපහාසය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිසියට හැකියාවක් නොමැති හෙයිනුත්, අම්බුළුවාවට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අප වෙත තර්ජන එල්ල වී ඇති හෙයිනුත් චේතනාන්විතව මා අපහසුතාවට පත්කිරීම සඳහා අදාල ආයතනයෙන් කළ පැමිණිල්ල මාගේ ප්‍රකාශයන් නොගෙනම අවසන් කරන ලෙස ඉල්ලා සිටිමි. පැමිණිල්ල අවසන් කිරීම සඳහා මාගේ ප්‍රකාශයක් අත්‍යවශ්‍ය නම් ඒ ගැන කොළඹ පොලිස් මූලස්ථානයේදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන ලෙස ද ඉල්ලා සිටිමි.
9. මෙම ආයතනය මගින් පොලිස් නිලධාරීන්ට පවා මුදල් දී ඇති බව විගණකාධිපතිවරයා හෙළිදරව් කර ඇති අතර එය අනීතික ක්‍රියාවක් බව ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ. යලිත් මෙවැනි ක්‍රියා ඇති නොවීම සඳහා කටයුතු කරන ලෙසත්, අප විසින් අවස්ථා ගණනාවකදී හෙළිදරව් කර ඇතිපරිදි අම්බුළුවාව ආයතනය මගින් පොදු දේපොළ අවභාවිත කිරීම ඇතුළු සිදුවීම් ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටිමි.
ස්තුතියි.
තරිඳු ජයවර්ධන
පිටපත්1) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව.
2) ලේකම්, මානව හිමිකම් කොමිෂන් සභාව.
3) සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.
4) නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, පොලිස්පති.
5) සභාපති, අපරාධයක වින්දිතයන් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය.
(news19 | හිරුණි විජේසිංහ)




