කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියක ගේ නීතිඥ භාවය අහෝසි කිරීමට අද (16) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ නියෝගයක් උල්ලංඝනය කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට වසරක අත්හිටවූ සිරදඬුවම් නියම කළේය.
ඒ අනුව එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියම කළ අතර රුපියල් 25000 ක දඩයක් ගෙවන ලෙසද ඇයට නියම කරන ලදී. එම දඩ මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවෙන් අමතර මාස හයක සිර දඬුවම් නියම කෙරිණ.
ඇඟිලි සලකනු ලබාදීම සඳහා පොලිස් අපරාධ හා ඇඟිලි සලකුණු කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙසද ඇයට නියම කරන ලදී.
අදාල චෝදනාවලට තමන් වරදකාරී බවට එම තැනැත්තිය පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම් නියම කරන ලදී.
එම තැනැත්තියට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන එකඟත්වය ඇති නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
මෙම වගඋත්තරකාරිය සිදු කර තිබෙන ක්‍රියාව මගින් නීතිඥවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය බරපතළ අයුරින් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශයට පත් කළ විනිසුරු යසන්ත කෝදාගොඩ, ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කළේය .
මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසත් නියම කෙරිණ .
කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක් ලබාදීම කාර්යාලයේ සේවකයින් විසින් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී 23 වසරේ ජූලි මස 27 දින එය බලහත්කාරයෙන් උදුරා ගෙන එහි තිබූ අත් අකුරු පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ලේඛනයක් කටේ දමා හපා විනාශ කළ බවට නීතීඥ වරියට එරෙහිව චෝදනා කර තිබුණි.
මෙකී සිද්ධිය මගින් අදාළ නීතීඥවරිය විසින් නීතිඥ භාවයේ ආචාර්ය ධර්ම උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම නීතිඥවරියට ම විරුද්ධව අපරාධ නඩුවක්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බව එහිදී සඳහන් කෙරිණ.
එම පැමිණිල්ල ප්‍රකාශ විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ නීතිඥ භාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කළේය.
එලෙස නීතිඥභාවය අත්හිටුවා තිබියදීත් එම වෘත්තියේ කටයුතු කරමින් සේවා දායකයින්ගේ මුදල් ලබා ගැනීම සිදුකළ බවට කැකිරාව නීතිඥ සංගමය විසින් ඇයට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඇයට පිටවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ද මීට පෙර නිකුත් කළේය.
තමන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව මුලින් ප්‍රකාශ කළ විත්තිකාරිය අනතුරුව එම චෝදනාවලට වරද පිළිගත්තාය .
ඒ අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
(සටහන | නෙල්කා මැදගෙදර)
අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com




