වසන්ත මුදලිගේ රැදවුම් භාරයේ සිටියදී ඔහු වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය ගොනු කළ පෙත්සමක විභාගය අවසන් කර තීන්දුව ලබා දෙමින් මේ බව ප්‍රකාශ කරන ලදී.
අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇති නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරිණි.
එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට ගෙන තිබූ තීරණය සාධාරණීකරණය කිරීමට පෙත්සම් විභාගයේදී වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවය.
ඒ අනුව වගඋත්තරකාර පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඒ. කේ. ගමගේ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) , 13(1) යන ව්‍යවස්ථා වලින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කරන ලදි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් 2022 වසරේ අගෝස්තු මස 18 වනදා පැවැත් වූ විරෝධතාවයකින් අනතුරුව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.
එසේ රඳවා ගැනීමට තරම් සාධාරණ සැකයක් මතුවිය හැකි කරුණු වග උත්තරකරුවන් විසින් ඉදිරිපත් කර නොමැති බවට ද විනිසුරු මඩුල්ල විසින් තීරණය කරන ලදි.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ ට ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවද මෙම නඩු තීන්දුවෙහි සදහන් වේ.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කාවින්ද පියසේකර ඇතුළු පිරිසක් නම් කර තිබුණි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ පිරිසක් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.
(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනී)





