ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ වැඩබලන මහලේකම් එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කර ඇත.
රජය දැනටමත් දෙමළ බහුතරයක් වෙසෙන උතුරේ සමාන්තර බල ව්‍යුහයක් ස්ථාපිත කරමින් සිටින බව ද ඔහු පවසා තිබේ.
ඉන්දීය නීතිඥ සංගමයේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිල නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ඉන්දියාවට ගිය අවස්ථාවේ සුමන්තිරන්, ප්‍රකට ඉන්දීය මාධ්‍යවේදියකු වන එම්.ආර් නාරායක් ස්වාමි සමග නවදිල්ලියේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී මේ බව සඳහන් කර ඇතැයි 'ජැෆ්නා මොනිටර්' ( jaffnamonitor.com) වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
''ජනාධිපති අනුර ප්‍රායෝගික පුද්ගලයකු වුවද, සහජීවනයට විරුද්ධ දැඩි මතධාරීන් පිරිසක් ඔහු වටා සිටිනවා''
ජනාධිපති අනුර දිසානායක ප්‍රායෝගික පුද්ගලයකු වුවද, දේශපාලන වශයෙන් සහ සහජීවනයට විරුද්ධ දැඩි මතධාරීන් පිරිසක් ඔහු වටා සිටින බවද දෙමළ ජනතාව පමණක් නොව රට මුහුණ දෙන ලොකුම අනතුර නම්, ජනතා විමුක්ති පෙරමුණ ඒකපාක්ෂික රාජ්‍යයක් කරා ගමන් කිරීම බවද, එය ඉතා බරපතල තත්වයක් බවද ඔහු ප්‍රකාශ කර ඇත.
දෙමළ බහුතරයක් වෙසෙන උතුරු පළාතේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය කණ්ඩායම්, නීතිඥයින් සහ ප්‍රජා සංවිධායකයින් චෝදනා කරන්නේ, ජවිපෙ එහි බලපෑමෙන් හෝ අධීක්ෂණයෙන් තොරව කිසිදු ප්‍රධාන සිවිල් මුලපිරීමකට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කර තිබේ.
“වසර ගණනාවක් තිස්සේ මැතිවරණ පවත්වා නොමැති උතුරු පළාත් සභාවේ බලතල පැහැර ගනිමින්, කලාපයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට සෙවනැලි අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීමට රජය කටයුතු කර ඇතැයි ප්‍රකාශ කර ඇති සුමන්තිරන්, දෙමළ ජනතාව ද සමාජවාදය අගයන අතර ඒක පක්ෂ පාලනයකට එකඟ නොවන බවට ජනප්‍රිය දෙමළ දේශපාලන නායකයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම් කළ ප්‍රකාශය ද සිහිපත් කර තිබේ.
උතුරේ පාර්ලිමේන්තු මැතිවරණවලදී දෙමළ ජනතාව සාම්ප්‍රදායික දෙමළ පක්ෂ කෙරෙහි විශ්වාසයක් නොමැති වූ බව පෙන්නුම් කළ බැව් පිළිගත් සුමන්තිරන්, රටේ උතුරු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් තම ඉලංකෙයි තමිල් අරසු කච්චි ජයග්‍රහණය කරනු ඇතැයි ද ප්‍රකාශ කර තිබේ.
''උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන 40 න් 34 ක පාලනය ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට''
පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයක් හිමි වුවද දෙමළ ඡන්දදායකයින් පළාත් පාලන මැතිවරණවලදී දෙමළ පක්ෂ දෙසට ආපසු හැරෙමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. මේ වන විට උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන 40 න් 34 ක පාලනය ඉලංකෙයි තමිල් අරසු කච්චි සතු බවද ඔහු පෙන්වා දී ඇත.
“පළාත් සභා මැතිවරණයෙන් පසු අපි උතුරු නැගෙනහිර පළාත්වල බලය පිහිටුවන බව අපට විශ්වාසයි,” යනුවෙන් ප්‍රකාශ කර ඇති සුමන්තිරන්, තම පක්ෂයේ මහ ඇමති අපේක්ෂකයා වීමට ඇති කැමැත්ත ද ප්‍රකාශ කර ඇත. මුස්ලිම් පක්ෂවල සහාය ඇතිව පමණක් නැගෙනහිර පළාත්වල බලය අත්කර ගන්නා බව ද ඔහු සඳහන් කර තිබේ.
තමා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ තෝරාගත් කිහිප දෙනෙකු සමඟ වසර 15 කට ආසන්න කාලයක් මිත්‍රත්වයක් පැවැත්වූ නමුදු දැන් එසේ නොවන බවද සඳහන් කර ඇති සුමන්තිරන්, ජනාධිපති දිසානායක සාධාරණ පුද්ගලයකු වන අතර සිය ස්ථාවරය තුළ බොහෝ දුරක් ගමන් කිරීමට ඔහුට අවශ්‍යතාවක් පැවතියද ඔහුගේ පක්ෂයේ දැඩි මතධාරීන් වෙනත් දේශපාලන බලවේග ආකර්ෂණය කර ගැනීමට විරුද්ධ වූ බවත්, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීමෙන් පසු එම තත්ත්වය නිර්මාණය වූ බවත් සඳහන් කර ඇත.
තමා ජනාධිපති දිසානායක සමඟ දිගටම සාකච්ඡා කළ බවත්, ඉල්ලා සිටියහොත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට උපකාර කරන බවට පොරොන්දු වූ නමුදු තමන් දැන් වෙන් වෙමින් සිටින බවද ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ. එයට එක් හේතුවක් වූයේ දෙමළ ප්‍රශ්නය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙක් පැත්තෙන් ITAK සහ අනෙකුත් දෙමළ පක්ෂ අතර පැවැති විශාල පරස්පරතාවයයි. “මේ නිසා, ඔවුන් සමඟ එක්ව වැඩ කිරීම දුෂ්කරය. එමෙන්ම අපි උතුරු හා නැගෙනහිර පළාතේ ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන සතුරන් ද වෙමු.”
දෙමළ කොටි සංවිධානය විසින් දියත් කරන ලද සන්නද්ධ අරගලයට එක් අවස්ථාවක අදාළත්වයක් තිබුණ ද, ඔහු සැමවිටම ප්‍රචණ්ඩත්වයට ස්ථිරවම විරුද්ධ වී ඇති බවත්, බහුතර සිංහල ප්‍රජාව සමග දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කෙරෙන ඕනෑම දේශපාලන රාමුවක් ගොඩනගා ගැනීමට දෙමළ ජනතාව උත්සාහ කරන බවත් ඇතැම් දෙමළ දේශපාලන නායකයන් කරන දැඩි ප්‍රකාශ හිස් ප්‍රලාප බවත් ඒවා දෙමළ ප්‍රජාවට ප්‍රයෝජනවත් නොවන බවත් සුමන්තිරන් ප්‍රකාශ කර තිබේ.
''දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගත හැක්කේ සිංහල ජනතාවගේ කැමැත්ත ඇතිවයි''
“වෙනම රාජ්‍යයක් පිළිබඳ ප්‍රකාශ වලින් ප්‍රයෝජනයක් තිබේද? එසේ නම්, එවැනි වාචාල කතාවලින් සිංහලයන්ට තර්ජනය කරන්නේ ඇයි? එය ප්‍රතිපල විරහිතයි. අපට යම් තැනකට යා හැක්කේ සිංහල ජනතාවගේ කැමැත්ත ඇතිවයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ වර්තමානයේ දෙමළ ප්‍රජාවේ බොහෝ දෙනා පිළිගන්නා තර්කයක් ප්‍රතිරාවය කරමිනි. “ එය අපි ඔවුන්ට (සිංහලයන්ට) ඒත්තු ගැන්විය යුතු වන අතර ප්‍රතිපලදායක නොවන සටන් පාඨවලට වලංගුභාවය ලබා දීම නැවැත්විය යුතුයි.”
2025 පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ඡන්දදායකයින් දෙමළ පක්ෂවලට පිටුපා ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගැනීමට තවත් හේතුවක් වූයේ එවැනි ස්වයං-පරාජිත සටන් පාඨ සහ දුන් පොරොන්දු බව ද ප්‍රකාශ කර ඇති සුමන්තිරන් සිංහල පක්ෂයකට යාපනයේ සහ උතුරේ වෙනත් ප්‍රදේශවල තහවුරු වීමට අඩිතාලමක් දමා දීමෙන් මිතුරන් සහ සතුරන් යන දෙපිරිසම මවිතයට පත් කර ඇතැයි ද සඳහන් කර තිබේ.
(lankalokaya |ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)
මුලාශ්‍රය :
JVP may move towards one-party rule, says Tamil leader





