අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
මෙහි පෙත්සම්කරු වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක, එහිදී විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනීසිට එළඹෙන අධිකරණ නිවාඩුවට පෙර මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.
එහෙත් සැප්තැම්බර් මස 25 වන දා මෙම පෙත්සම කැඳවන බව විනිසුරු මඩුල්ල එහිදී සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබේ.
සුරේෂ් සලේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.
එහෙත්, නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට ඍජුව හෝ වක්‍රව දායකත්වය දැක්වූ පුද්ගලයින්ට එරෙහිව සහ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය බිඳ හෙළීමේ ක්‍රියාවල නිරතවන්නන් ට එරෙහිව පමණක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත හැකි බව මෙම පෙත්සම මගින් පෙන්වා දී තිබේ
සුරේෂ් සලේ ට එවැනි වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නැති අතර ඔහු ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි කිසිවක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තෙක් කටයුතු කර නැති බව පෙත්සම්කරු විසින් පෙන්වා දී ඇත.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ ට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
එසේම, ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.
සුරේෂ් සලේ වෙනුවෙන් අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සම
මේ අතර දේශපාලන දඩයමට ලක්ව ඇති සුරේෂ් සලේ ට යුක්‍තිය සාධාරණත්වය ඉටු කරදෙන ලෙස ඉල්ලමින් සිදු කරන අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමේ පස්වන අදියර පසුගිය සෙනසුරාදා කඩුවෙල බස් නැවතුම්පොළ අසළ දී නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය කිරිගල්පොත්තේ චන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේ හා නව ජනතා පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් නායක පූජ්‍ය කැලණිය සද්දාසීල හිමියන් ප්‍රමුඛ වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද සිදු කෙරින.
මෙහිදී හිටපු අමාත්‍ය රියාල් අද්මිරාල් සරත් වීරසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වන නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත සහ ජගත් කුමාර ඇතුළු කඩුවෙල නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද පැමිණ තම අත්සන යොදමින් සහයෝගය දක්වන දැක්විය.


ඩිජිටල් පෙත්සමක්
මේ අතර විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ඉතාමත් අසාධාරණ සහ අමානුෂික බව සඳහන් කරමින් ඔහුව නිදහස් කරනලෙස බලකරමින් ඩිජිටල් පෙත්සමට අත්සන් ගැනීමේ වැඩසටහනක් මේවනවිට ආරම්භකර ඇත.
Release Major General Suresh Sallay
| නෙල්කා මැදගෙදර
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com





