රිමාන්ඩ් භාරයට පත්කිරීමට කටයුතු කිරීම මගින් 21 හැවිරිදි තරුණයකුගේ මූලික අයිතිවාසිකම් තමන් විසින් උල්ලංඝනය කළ බවට පිළිගත් එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා වූ එච්.එම්.ඒ බී හේරත් ඊයේ (23) එම තරුණයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාව අයැද සිටියේය .
එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටුව පළ කරන බවත් එකී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන දෙකක වන්දි මුදලක් තම පෞද්ගලික මුදලින් එම තරුණයාට ගෙවීමට සූදානම් බවත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙලෙස සමාව ලබා ගන්නා ලදී.
අදාළ වන්දි මුදල් වග උත්තරකාර ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේදී එම තරුණයාට භාර දීම සිදු කළේය.
තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරෙහිව අදාළ තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේ දී වග උත්තර කාර්ය පොලිස් ස්ථානාධිපතිවරයා සහ පෙත්සම්කාර තරුණයා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම අයදීම සිදු කෙරිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
ඊශ්‍රායල ධජයට හානි වන ආකාරයේ සමාජ මාධ්‍ය පළ කිරීමක් 2024 වසරේ ඔක්තෝබර් මස සිදු කළ බවට චෝදනා කරමින්ම මහේස්ත්‍රාත් අධිකරණයට වැරදි කරුණු වාර්තා කර පෙත්සම්කාර තරුණයා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට මෙම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බව එම තරුණයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට දන්වා සිටියේය.
කෙසේ වුවද එම තරුණයාට එරෙහිව නඩු නිමිත්තක් නොමැති බවට නීතිපතිවරයා ගල්කිස්ස අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු මුදා හැරුණු බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පෙත්සම්කාර තරුණයා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වළක්වා ගැනීම පනත යටතේ රඳවා ගැනීමට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබු අතර පෙත්සම සම්බන්ධයෙන් සමතයක් ඇති කරගැනීමේ හැකියාව ඇති බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරු විසින් දැනුම් දීමක් කර තිබෙන බවත් නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
එහිදී මෙම පෙත්සමෙහි ප්‍රධාන වග උත්තරකරු වන එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපති එච්.එම්.ඒ.බී. හේරත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර මෙම නඩුව සමථයකට පත්කර ගැනීමට සිය සේවාදායකයා සූදානම් බව ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කර සිටියේය
එම අවස්ථාවේදී විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් කළ එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපති හේරත් සඳහන්කළේ, මෙම තරුණයා 2024 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා තමන් විසින් අත්අඩංගුවට ගත් බවය.
එලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම හේතුවෙන් පෙත්සම්කාර තරුණයාට විශාල අගතියක් සිදුවූ අතර ඒ තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව තමන් පිළිගන්නා බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටුව පළ කරන බවත් වගඋත්තරකාර ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර තරුණයාගෙන් සමාව අයද සිටිනා අතර ඔහුට සිදුවූ හානිය වෙනුවෙන් වෙනුවෙන් රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවීමට කටයුතු කරන බවද පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේය.
එම සමථ යෝජනාවට තමන් එකඟ වන බව ප්‍රකාශ කළ පෙත්සම්කාර තරුණයා, වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ගොනුකර තිබෙන පැමිණිල්ල ඉවත් කරගන්නා බවට පොරොන්දුවක් ලබා දුන්නේය.
මෙම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම සමථය සම සටහන් කර ගැනීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය.
නීතීඥ ඉල්හාම් හසන් අලි සමග නීතිඥ හිජාස් හිස්බුල්ලා පෙත්සම්කාර තරුණයා වෙනුවෙන් පෙනී සිටියේය.
(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
සබැඳි ලිපියක් :
අනුරත් සමාව ඉල්ලිය යුතු නැද්ද? | Saroj Pathirana





