පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මන්නාරම් දුපතේ වංකාලෛ අභය භුමියට ඉහළින් ඇද තිබෙන ටර්බයින විදුලි රැහැන්වල ගැටීමෙන් ෆ්ලෙමින්ගෝ සංචරක පක්ෂින් දෙදෙනකු මරුමුවට පත් වී තවත් පක්ෂියකු බරපතල ලෙස තුවාල ලබා සිටියදී මන්නාරම දිස්ත්‍රික් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාර්තු 22 වැනි දා සොයා ගෙන ඇති බවයි.
තුවාල ලැබු පක්ෂියාට මන්නාරම දිස්ත්‍රික් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබා දෙන බව ඔවුහු වැඩි දුරටත් පවසති.
ශ්‍රී ලංකාවේ වයඹදිග පිහිටා ඇති වංකාලෛ අභය භුමිය සංචාරක පක්ෂීන්ගේ තෝතැන්නක් ලෙස දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානායකි. ශ්‍රී ලංකාවේ හතරවැනි රැම්සා තෙත්බිම ලෙස සැලකෙන්නේද මන්නාරම වංකාලෛ අභය භුමියයි.
ෆ්ලෙමින්ගෝ සංචරක පක්ෂින් වාර්ෂිකව දැක බලා ගත හැකි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුළන වංකාලෛ අභය භුමිය තුළ තවත් සංචාරක පක්ෂින් 150 ට අධික ප්‍රමාණයක් දැක ගත හැකි බවයි පරිසරවේදීන් පවසන්නේ.
මන්නාරම් දුපතේ පරිසරයටත්, ජන ජීවිතයටත් විනාශකාරී ලෙසින් ස්ථාපිත කර ඇති සුළං විදුලි බලාගාර සංචාරක පක්ෂින් එම දුපතට පැමිණිම අවම කිරීමට හේතු වන ආකාරයත් ඒවායේ විදුලිය රැගෙන යන අධි වෝල්ටීයතාවයකින් යුත් විදුලි රැහැන් පක්ෂින්ගේ ජීවිත වලට අනාගතයේ තර්ජනයක් වන ආකාරයත් එම බලගාර වලට එරෙහිව විරෝධය පෑ මන්නාරම් දුපත් වාසීන් පසුගිය සමයේ අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබුනි.






