මාර්තු 23 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් කිලිනොච්චි මාධ්‍ය සංසදයේ ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ කිලිනොච්චියේ නිදහස් මාධ්‍යවේදී ධර්මලිංගම් පරමසිවා (සීවා) ට දුරකතන මාර්ගයෙන් එල්ල වී ඇති මරණ තර්ජනය පොලීසිය විසින් සුළු කොට තැකීම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරන බවයි.
"නිසි සාක්ෂි සහිතව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබියදීත්, තර්ජනය කළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර නොගැනීමෙන් පොලිසිය දක්වන ලිහිල්භාවය ගැන අපි දැඩි ලෙස කම්පනයට පත් වෙමු. මෙම කාරණය සරල තර්ජනයක් ලෙස සැලකීම අපිට ලොකු කම්පනයකි. අපරාධකරුවන්ට සහාය දක්වන එවැනි ක්‍රියාකාරකම් නීතියේ ආධිපත්‍යය කෙරෙහි විශ්වාසය පළුදු කර ඇති අතර මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර ඇත."
සිය මුහුණු පොතේ සටහනක් තබමින් නිදහස් මාධ්‍යවේදී ධර්මලිංගම් පරමසිවා අවධාරණය කර ඇත්තේ කිලිනොච්චියේ ජනප්‍රිය පාසලක පැවැති නිවාසාන්තර මලල ක්‍රීඩා තරගයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නීති විරෝධි වැලි ජාවාරම් සහ මත් ද්‍රව්‍ය ජාවාරම් ගනුදෙනු වලට සම්බන්ධ පුද්ගලයන් සහභාගී වු බවට තමන් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කිරීමෙන් පසු දුරකතන මාර්ගයෙන් එල්ල වු මරණ තර්ජනයක් හේතුවෙන් සිය ජීවිත ආරක්ෂාව පතා කිලිනොච්චි පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.
"නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ අය, නීති විරෝධී වැලි සහ මත්ද්‍රව්‍ය විකුණන අය පාසලේ උත්සවයකට ප්‍රධාන ආරාධිතයන් ලෙස ආරාධනා කිරීම ගැන මම පෝස්ට් එකක් දාලා තිබුණා. මම ඒ පෝස්ට් එකේ පාසලේ නම හෝ පුද්ගලයන්ගේ නම් භාවිතා කළේ නැහැ. නමුත්, ඉතා නරක විදිහට දුරකතන මාර්ගයෙන් තර්ජනය කරාට පස්සේ තමයි මගේ ආරක්ෂාව ගැන සලකා බලලා මාධ්‍යවේදියකු විදිහට, මම කොහේ හරි යන ඕනෑම වේලාවක මොනවාහරි සිදු වෙන්න පුළුවන් කියලා හිතලා මම පොලීසියට පැමිණිලි කළේ."
මරණ තර්ජනයක් එල්ල කරමින් ලබා දුන් දුරකථන ඇමතුමෙන් පසු තමන් දෛනික ජීවිතය තුළ බියට පත්ව සිටින ආකාරය නිදහස් මාධ්‍යවේදියා සිය මුහුණු පොතේ සටහන් කර තිබුනේ පහත අයුරිනි.
"මම බයෙන් තමයි ඉන්නේ. විශේෂයෙන් වාහනයක් පිටුපසින් ඇවිත් හෝන් කරන කොටත් මට බය බයයි. ඒ ටිපර් එක කාගෙද? ඒක එන්නේ ඇයි? කියලත් බයයි."
2026 මාර්තු 17 වැනිදා නිදහස් මාධ්‍යවේදී පරමසිවා සිය මුහුණු පොතේ " කිලිනොච්චියේ ජනප්‍රිය පාසලක පැවැති නිවාසාන්තර මලල ක්‍රීඩා තරගයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නීති විරෝධි වැලි ජාවාරම් සහ මත් ද්‍රව්‍ය ජාවාරම් ගනුදෙනු වලට සම්බන්ධ පුද්ගලයන් සහභාගී විය. පාසල් සිසුන්ට මොනවද කියන්න යන්නේ? " යනුවෙන් පෝස්ටුවක් පළ කර තිබේ.
ඔහු තව දුරටත් පවසන්නේ එම පෝස්ටුව පළ කිරීමෙන් පසු තමන් ජනා ලෙස හදුන්වා දෙන පුද්ගලයෙක් තමන්ට දුරකතන මාර්ගයෙන් තර්ජනය කළ බවයි. එම ඇමතුම පටි කර ගත එය සිය මුහුණු පොතේ උඩු ගත කිරීමටත් මාධ්‍යවේදියා කටයුතු කර ඇති අතර එම තර්ජනයේ කොටසක් පහත පරිදි වේ.
"උඹ දකින තැනකින් මම ගහනවා. කමෙන්ට් එකේ ජනා කියලා තියනවා. මේක ජනා ගැන නෙමෙයි කියලා උඹ කමෙන්ට් කරපං. නැත්නම් මම උඹට ගහනවා. රෙකෝඩ් කළත් කමක් නෑ. උඹට පවුලක් තියනවානේ. කමෙන්ට් එකේ ජනා කියලා තමයි තියෙන්නේ. උඹ ඕනෑ දෙයක් දාපන්. මම මරනවා."
කිලිනොච්චියේ ජනප්‍රිය පාසලක පැවැති නිවාසාන්තර මලල ක්‍රීඩා තරගයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්බන්ධ වු නීති විරෝධි වැලි ජාවාරම් සහ මත් ද්‍රව්‍ය ජාවාරම් ගනුදෙනු වලට සම්බන්ධ පුද්ගලයා කවුදැයි මාධ්‍යවේදියා සිය මුහුණු පොතේ පළ කල පෝස්ටුවෙහි සදහන් නැතත් එම පෝස්ටුව ප්‍රතිචාර දක්වන පුද්ගලයන් ඔහු ජනා ලෙස නම් කර තිබේ.
ජනා නමින් තමන් හදුන්වා දෙමින් මාධ්‍යවේදියාට දුරකතන මාර්ගයෙන් මරණ තර්ජනය කළ පුද්ගලයා මාධ්‍යවේදියාට තර්ජනය කර ඇත්තේ එම පුද්ගලයා ජනා නොවන බවට එම පෝස්ටුවේ කමෙන්ට් වලට පිළිතුරු සපයන ලෙස ද ඉල්ලමිනි.





