මැද පෙරදිග යුද වාතාවරණය මැද මේ වන විට අභියෝගයට ලක්වී ඇති මෙරට අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට නම් අඩපණව ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් වහාම ක්‍රියාත්මක කිරිමට රජය කටයුතු කළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙයි.
නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එළඹීමට අමතරව අපනයන ආදායම වැඩිකර ගැනීමට දැනටමත් හඳුන්වා දී ඇති නව නීති රීති අණ පනත් වහාම ක්‍රියාත්මක කිරීමට රජය යොමු විය යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
මතුව ඇති ගෝලීය ආර්ථික අසීරුතා මැද ආර්ථික නවෝදයකට අප රට යායුතු මග පැහැදිලි කරමින් මහාචාර්ය වරයා මෙසේද කීය.
පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත වූ ආර්ථික පරිවර්තන පනත මගින් මෙරට ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කරමින් ශක්තිමත් අපනයන අංශයක් ගොඩනැගීමට යෝජනා කර ඇත. විදේශ ආයෝජන වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සහ අපනයන ධාරිතාව ඉහළ නැංවීම මෙම පනතේ ප්‍රධාන ඉලක්කයකි.
මෙම නව පනත යටතේ දැනට පවතින ආයෝජන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව, කාර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන, ජාතික ව්‍යවසායක අධිකාරිය සහ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒකාබද්ධ කිරීමට පියවර ගැනේ.
‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ සහ ‘සෝන් ශ්‍රී ලංකා’
ඒ අනුව, ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ සහ ‘සෝන් ශ්‍රී ලංකා’ නමින් නව ආයතන දෙකක් පිහිටුවීමට යෝජිතය. ‘සෝන් ශ්‍රී ලංකා’ හරහා නිදහස් වෙළෙඳ කලාප සහ කාර්මික කලාප ඒකාබද්ධ කර නව පරිපාලනයක් ඇති කිරීමටත්, ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ මගින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් සැලසුම් කර ඇත. මෙම ආයතන පිහිටුවනු ලබන්නේ ආර්ථික කොමිසම පිහිටුවීමෙන් අනතුරුවය.
ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලයක් පිහිටුවීමට ද පනත මගින් යෝජනා කර ඇත. ඉන්දියාව 2000 වසරේදී ශ්‍රී ලංකාව සමඟ පළමු නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළ අතර, එතැන් සිට ඔවුන් නිදහස් වෙළෙඳ ගිවිසුම් 7ක් අත්සන් කර තිබේ. මෑතකදී ඉන්දියාව විසින් ඇමරිකාව, නවසීලන්තය, ඕමානය සහ යුරෝපා සංගමය වැනි පාර්ශවයන් සමඟ ද වෙළෙඳ ගිවිසුම් අත්සන් කර ඇත.
එහෙත් ශ්‍රී ලංකාව තුළ දැනට සක්‍රීයව පවතින්නේ ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම පමණක් වන අතර, පාකිස්ථානය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ අත්සන් කළ ගිවිසුම් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව මූලාශ්‍ර පෙන්වා දෙයි. අනාගත ලෝක වෙළෙඳාම රටවල් දෙකක් අතර ඇති වන වෙළෙඳ ගිවිසුම් මත තීරණය වන බැවින් නිදහස් වෙළෙඳ ගිවිසුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.
මීට අමතරව, මෙරට ආර්ථික ක්‍රියාවලිය සඳහා කාන්තා ශ්‍රම බලකායේ දායකත්වය ඉහළ නැංවීම සහ නිෂ්පාදන ඵලදායිතාව වැඩි කිරීම සඳහා කටයුතු කළ යුතු බව ද මෙම පනත මගින් අවධාරණය කරයි. පවතින තත්ත්වය යටතේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් නොකර සහ අපනයන අංශය ප්‍රතිසංවිධානය නොකර රටට ඉදිරියට යා නොහැකි බැවින්, මෙම පනතේ අඩංගු යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මූලාශ්‍ර මගින් පෙන්වා දෙයි.
(සටහන | ජේ.මුණසිංහ)





