සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
අදාළ පනතේ වගන්තිවලට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් හැක්කේ යම් කතාවක් හෝ ප්‍රකාශයක් මගින් යුද්ධය පැතිරවීම නැතහොත් වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමුකිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීමක් කරන්නේ ද යන්න පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකරන්නේ නම් එම අත්අඩංගුවට ගැනීමට පෙර අදාළ පොලිස් නිලධාරියා විසින් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත දැනුම්දී පූර්ව ලිඛිත අනුමැතියක් ලබාගත යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
විශේෂයෙන් යම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම්වලට පොදුවේ ජන සමාජයට හිත් රිදවීමක් හෝ අපහසයක්, දේව අපහාසයක් සිදුවූ පමණින් එය සිවිල් හා දේශපාලන අයිතිසිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමට හේතුවක් ලෙස නොසැලකිය යුතු බව ද පොලිස්පතිවරයා නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් වේ.
අදාළ විධි විධානවලට පටහැනිව කටයුතු කිරිම හෝ එම විධිවිධාන අවභාවිත කර ඇති බවට අනාවරණය වුවහොත් එම විමර්ශන නිලධාරින්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත
1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය.
1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනිමක් ලබා දීම සිදුව තිබේ.
2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මෙරට ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නොවන මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙම පනත හරහා අපේක්ෂා කෙරේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුව සුළුතර ජාතීන් පීඩාවට පත් කිරීමට මෙන්ම ආණ්ඩු විරෝධීන් මර්දනය සඳහා මෙම පනත යොදා ගන්නා බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල ද චෝදනාවට ලක්ව ඇත.
මෙම පනත යටතේ ගැනෙන වරදකට වරදකරු බව මහාධිකරණ නඩු විභාගයකින් පසු ඔප්පු වුවහොත් වරදකරු අවුරුදු 10කට නොවැඩි දඬුවමකට ලක් කළ හැකිය.
ICCPR පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග අවසන් වන තෙක් ඇප ලබාදිය නොහැකි අතර සුවිශේෂ තත්ත්වයන් යටතේ මහාධිකරණයට පමණක් ඇප ලබා දීමේ හැකියාව පවතී.
අත්අඩංගුවට පත්වූවන් කවුද?
මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඇති මෙම පනත යොදා ගනිමින් මෙරට දී අත්අඩංගුවට ගත් මුල්ම තැනැත්තා ලෙස සඳහන් වන්නේ ලේඛකයකු වන ශක්තික සත්කුමාර ය.
අනතුරුව රහීම් මසාහිනා, රම්සි රසීක්, ෆාසල් මුහම්මද් නිසාර්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ, ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ඇතුළු කිහිප දෙනෙකුම මෙම පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන මාස ගණන් රඳවා ගනු ලැබිය.
මුලාශ්‍ර : | aruna





