මහ බැංකුව ඊයේ (25) නිකුත් කරන ලද නිවේදනයකින් පෙන්වා දී ඇත්තේ බලශක්ති, සංචාරක, විදේශ වෙළඳාම සහ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ කෙරෙහි අවදානමක් පවතින බවයි.
මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මතු පළවේ.
යුද්ධයේ බලපෑම කළමනාකරණය කළ හැකියි - මහ බැංකු අධිපති කියයි
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ නි. අධිපති සී. අමරසේකර
( ඡායාරූපය – සුදත් මලවීර)
මේ අතර මහ බැංකු මූලස්ථානයේ ඊයේ (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා සිටියේ, යුද්ධයේ බලපෑම කළමනාකරණය කළ හැකි බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල විය හැකි කම්පනකාරි තත්ත්ව කළමනාකරණය කරගැනීමට අවශ්‍ය විදේශ සංචිත මේ වන විට ඉහළ මට්ටමක පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙහිදී පැවසිය.
විදෙස් සංචිත ඩොලර් බිලියන 7.3ට ඉහළ ගිහින්
මේ තත්ත්වය මත මෙරට ආර්ථිකය සුරක්ෂිත බවත් අමෙරිකානු ඩොලර් බිලියන 7.3ක ඉහළ සංචිතයක් පවතින බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. මෙය මෑත කාලය තුළ වාර්තාවූ ඉහළම විදේශ සංචිත ප්‍රමාණය බව ද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලසීමාවේ මුහුණ දීමට සිදුවූ කොවිඩ් වසංගතය, දිට්වා සුළි කුණාටු සහ දැඩි ආර්ථික අර්බුදය වැනි අභියෝගාත්මක අවස්ථා හමුවේ ශ්‍රී ලාංකික ජනතාව පෙන්වූ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
පවතින ගෝලීය තත්ත්වය හමුවේ වුව ද යම් යම් සංශෝධන සිදු කරමින් ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යෑමේ හැකියාව පවතින බව තමා විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





