මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින් නිකුත් කර තිබූ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම මගින් අධිකරණයට අපහාසය කර ඇති බවට වන චෝදනා ඇතුළත් චෝදනා පත්‍රය එම පෙත්සම් වල වග උත්තරකරුවකු ලෙස නම්කර සිටි ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි. ජී. එස් ප්‍රේමතිලක ට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කියවා බාර දෙන ලදි .
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර, ආචාර්ය සෝභිත රාජකරුණා ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් විසින් ඩිජිටල් (digital ) ආකාරයට බාර දීමක් සිදු කළේය.
එය ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ (digital) චෝදනා පත්‍රයක් නඩුවක විත්තිකරුවකුට ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ.
මෙම චෝදනා පත්‍රය මගින් එල්ල කර ඇති චෝදනා සියල්ල ට තමන් නිවැරදිකරු බවට විත්තිකරු එම අවස්ථාවේදී සදහන් කළේ ය.
මෙම පෙතසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ හරිත් ද මෙල්, අධිකරණයට දන්වා සිටියේ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් නියම කරන ලද මුදල ගෙවීමට විත්තිකරුට හැකියාවක් නොමැති බවය.
මෙම පෙත්සම සම්බන්ධයෙන් කිසිදු සිතාසියක් නිකුත් නොකර නඩු විභාගකර විත්තිකරු ට එරෙහිව තීන්දුවක් දී ඇති බවට විත්තිවාචකයක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන බව නීතිඥවරයා සදහන් කළේ ය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ සුරේකා අහමඩ් අධිකරණයට දන්වා සිටියේ අදාළ සාක්ෂි ලැයිස්තුව සකස් කර අවසන් බවය.
මෙම අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය මැයි මස 17 වැනි දා ආරම්භ කිරීමට නියම කළේය.
අදාල ප්‍රශ්න කලින් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් විභාග කළ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2024 වසරේ දෙසැම්බර් මස 31 වනදා තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබිණ.
එම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන තුනක මුදලක් සිය පෞද්ගලික මුදලින ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන අජායි. ජී. එස් ප්‍රේමතිලක විසින් රජයට ගෙවිය යුතු බවත් අදාල මුදල මෙම තීන්දුව නිකුත් කළ දින සිට සති හතරක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.
එහෙත් වග උත්තරකර ප්‍රේමතිලක විසින් එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බැවින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරා දඩුවම් නියම කරන ලෙස ඉල්ලා මුල් පෙත්සම්කරුවන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
දෙපාර්ශ්වය කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම අධිකරණ අපහාස චෝදනාව මැයි 17 විභාගයට ගැනීමට දින නියම කළේ ය.
එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුට වැඩිදුරටත් නියෝග කළේය
විත්තිකරු වෙනුවෙන් හරිත් ද මැල් පෙනී සිටියේ ය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන පෙනී සිටියේය .
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිත්‍ය සුරේකා අහමඩ් පෙනී සිටියාය.
| නෙල්කා මැදගෙදර
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනිය
nelindum41@gmail.com




