පළාත් සභා ඡන්ද විමසීම්වලට අදාළ නීති හැර සෙසු මැතිවරණ නීති සමාලෝචනය කිරීම සඳහා පත් කළ මෙම විශේෂ කාරක සභාව, එහි සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පළමු වරට රැස්විය.
මෙහිදී මැතිවරණ ක්‍රමයට අදාළ ප්‍රධාන නීති කිහිපයක් සමාලෝචනය කිරීම කාරක සභාවේ මූලික අරමුණ බව සඳහන් කෙරිණි.
ඒ අනුව ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත ඇතුළු නීති සහ ඒවාට කාලයත් සමඟ සිදු කර ඇති සංශෝධන සමාලෝචනය කිරීමට නියමිතය.
එමෙන්ම මෙම නීති ප්‍රතිශෝධනය කිරීම, සංශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ඇගයීමට ලක් කරමින්, වර්තමාන මැතිවරණ නීති පද්ධතිය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ නව නිර්දේශ ඉදිරිපත් කිරීමද කාරක සභාවට පැවරී තිබේ.
මෙම සමාලෝචන ක්‍රියාවලිය සඳහා පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින්, අවශ්‍ය පුද්ගලයින් කාරක සභාව හමුවට කැඳවීම, ලේඛන සහ වාර්තා ලබා ගැනීම, ලිඛිත හෝ වාචික සාක්ෂි විමසීම මෙන්ම විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීම සඳහා ද කාරක සභාවට බලය හිමිව ඇත.
කාරක සභාවේ කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයක් ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි සහභාගී වූහ.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




