The Leader News
BREAKING
Top Ad
පුවත්

ජීවන්ත පීරිස් පියතුමා වෙනුවෙන් නිල කතෝලික සභාවට එරෙහිව සියයකට අධික පිරිසක් නැගී සිටී

T

The Leader Desk

May 26, 2026 • 6:29 AM

ජීවන්ත පීරිස් පියතුමා වෙනුවෙන් නිල කතෝලික සභාවට එරෙහිව සියයකට අධික පිරිසක් නැගී සිටී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුල්ලිවයික්කාල් දිනය සමරමින් ජීවන්ත පීරිස් පියතුමා විසින් කරන ලද එම ප්‍රකාශය හෙලා දකිමින් නිල කතෝලික සභාව යුද්ධය හඳුන්වා තිබුනේ දෙමළ ජනතාවට කිසිදු අපරාධයක් නොකළ එකක් ලෙසිනි.
  • "දිවයිනේ සිංහල - බෞද්ධ අන්තවාදීන්ගේ සහ කතෝලික නායකත්වයේ දෝෂදර්ශනයට ලක්ව සිටින ජීවන්ත පීරිස් පියතුමාගේ (සිංහල කතෝලික පියතුමෙක්) සමඟ අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කර සිටිමු.
  • "ශ්‍රී ලංකා කතෝලික මාධ්‍ය කොමිසමේ ජාතික අධ්‍යක්ෂ සහ කොළඹ අගරදගුරු පදවියේ කතෝලික මාධ්‍ය කොමිසමේ අධ්‍යක්ෂ විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව මගින් ජීවන්ත පීරිස් පියතුමාගේ ස්ථාවරය හෙළා දකින අතර, දෙමළ ජනතාවට එරෙහිව සිංහල රාජ්‍යය විසින් කිසිදු වැරැද්දක් සිදු කර නොමැති බව ප්‍රකාශ කරයි.
  • එම ප්‍රකාශකයාට අනුව සිංහල රාජ්‍යය යුද්ධ කළේ ත්‍රස්තවාදයට එරෙහිව මිස දෙමළ ජනතාවට එරෙහිව නොවේ." මුල්ලිවයික්කාල්වලින් ඉතිහාසය අවසන්ද?
අකුරු ප්‍රමාණය (Font Size):


මුල්ලිවයික්කාල් දිනය සමරමින් ජීවන්ත පීරිස් පියතුමා විසින් කරන ලද එම ප්‍රකාශය හෙලා දකිමින් නිල කතෝලික සභාව යුද්ධය හඳුන්වා තිබුනේ දෙමළ ජනතාවට කිසිදු අපරාධයක් නොකළ එකක් ලෙසිනි.

එයට දැඩි විරෝධය පළකොට "ඊළාම් දෙමළ ජනතාවගේ සාමූහික දේශපාලන අභිලාෂයන් සහ දෙමළ ජන සංහාරය පිළිබඳ ප්‍රකාශය" මැයෙන් 2026 මැයි 25 දා  නිවේදනයක් නිකුත් කරමින් පූජක හා පැවිදිවරුන් සමූහය අවධාරණය කර ඇත්තේ සිය ප්‍රකාශය මගින්, ඊළාම් දෙමළ ජනතාවගේ අත් හැරිය නොහැකි දේශපාලන අභිලාෂයන් පිළිබඳ සිය ස්ථාවරය තරයේ නැවත තහවුරු කරන බවයි.

 

"දිවයිනේ සිංහල - බෞද්ධ අන්තවාදීන්ගේ සහ කතෝලික නායකත්වයේ දෝෂදර්ශනයට ලක්ව සිටින ජීවන්ත පීරිස් පියතුමාගේ (සිංහල කතෝලික පියතුමෙක්) සමඟ අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කර සිටිමු. දෙමළ ජනතාවට සිදු වූයේ ජන සංහාරයක් බවත්, සිංහල බහුතරවාදී රාජ්‍යය විසින් දෙමළ ජනතාව ඓතිහාසික මර්දනයකට ලක් කර ඇති බවත් ප්‍රකාශ කරමින් ජීවන්ත පියතුමා බලධාරීන් හමුවේ සත්‍යය ප්‍රකාශ කර ඇත."

 

උතුරු - නැගෙනහිර, යුක්තිය සහ සාමය සඳහා වන පූජකවරුන් සහ පැවිදිවරුන් වෙනුවෙන් රොහාන් ඩොමිනික් පියතුමා (CMF) විසින් මැයි 25 වැනිදා නිකුත් කර ඇති ප්‍රකාශය මගින් සිහි ගන්වා ඇත්තේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සේවය කරන පුජකවරුන් සහ පැවිදිවරුන් ලෙස, දිවයින පුරා සිටින අනෙකුත් පූජකවරුන් සහ පැවිදිවරුන් සමග එක්ව පහත සඳහන් කරුණු ප්‍රකාශ කරන බවයි.

"ශ්‍රී ලංකා කතෝලික මාධ්‍ය කොමිසමේ ජාතික අධ්‍යක්ෂ සහ කොළඹ අගරදගුරු පදවියේ කතෝලික මාධ්‍ය කොමිසමේ අධ්‍යක්ෂ විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව මගින් ජීවන්ත පීරිස් පියතුමාගේ ස්ථාවරය හෙළා දකින අතර, දෙමළ ජනතාවට එරෙහිව සිංහල රාජ්‍යය විසින් කිසිදු වැරැද්දක් සිදු කර නොමැති බව ප්‍රකාශ කරයි. එම ප්‍රකාශකයාට අනුව සිංහල රාජ්‍යය යුද්ධ කළේ ත්‍රස්තවාදයට එරෙහිව මිස දෙමළ ජනතාවට එරෙහිව නොවේ."

 

මුල්ලිවයික්කාල්වලින් ඉතිහාසය අවසන්ද? මැයෙන් සම අයිතිය ව්‍යාපාරය විසින් පසුගියදා සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමින් ජීවන්ත පීරිස් පියතුමන් විසින් සිදු කර තිබු ප්‍රකාශයක් ප්‍රතික්ෂේප කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කතෝලික රදගුරු සම්මේලනයේ සමාජ සන්නිවේදනය පිළිබඳ රදගුරු කොමිසමේ සභාපති, ජූඩ් නිශාන්ත සිල්වා පියතුමා දැඩි ලෙස අවධාරණය කර තිබුනේ එය සමස්ත කිතුනු සභාවේම ප්‍රකාශයක් නොවන බවයි.

 

"අපගේ යුද ජයග්‍රහනය සමරන දිනයේ දී ගරු ජීවන්ත පීරිස් අපගේ කතෝලික පියතුමා ප්‍රකාශයක් නිකුත් කරනවා 2009 ඒ යුද්ධය අවසාන කිරීමේ ඒ කාලසීමාව තුළ සිදුවුනු යුද්ධය ත්‍රස්තවාදී යුද්ධයක් නෙමෙයි, එය දමිළ ජනතාව මෙරටින් මුලින් උපුටා දමන්නට සිදු කරන ලද දමිළ වර්ග සංහාරයක් කියලා. ඉතින් මේ ප්‍රකාශය ඇසීමත් සමග බොහෝ දෙනා කළ කිරීමට, වේදනාවට පත්උනායි කියන දේ අපි දන්නවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම කියන්නට ඕනේ උන්වහන්සේ කළ ප්‍රකාශය සමස්ත කිතුනු සභාවේම ප්‍රකාශය නෙමෙයි. ඒ වගේම ශ්‍රී ලංකා කතෝලික සභාවේ රදගුරු මඩුල්ලේ අදහසත් නෙමෙයි. අපි කිසිසේත්ම කතෝලික ජනතාවක් ලෙස  මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ නැහැ. ඒ වගේම කියන්නට ඕනේ මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම, ඒ වගේම මෙවැනි ප්‍රකාශ තමන්ගේ මනස තුළ රදවා තබා ගැනීම පවා අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. "

උතුරු - නැගෙනහිර, යුක්තිය සහ සාමය සඳහා වන පූජකවරුන් සහ පැවිදිවරුන් වෙනුවෙන් රොහාන් ඩොමිනික් පියතුමා (CMF) විසින් මැයි 25 වැනිදා නිකුත් කළ ප්‍රකාශය මගින් කියා සිටින්නේ  ශ්‍රී ලංකාවේ කතෝලික සභාව වාර්ගික පදනම මත ධ්‍රැවීකරණය වී ඇති බවට ඓතිහාසික මෙන්ම සමකාලීන සාක්ෂි රාශියක් මගින් සනාථ වන බවයි.

"මෙය රහසක් නොවන අතර, පොදු ඇදහිල්ලකින් සභාව එක්සත් විය හැකි නමුත් වාර්ගික, සංස්කෘතික, ආර්ථික හෝ දේශපාලන වෙනස්කම් නිසා බෙදී යාම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූවක් නොවේ. දෙමළ කතෝලික ප්‍රජාව, ශුද්ධ වූ ලියවිල්ල සහ සභාවේම ධර්මෝපදේශයන් (Magisterium) මගින් නියම කර ඇති පරිදි, පීඩිතයන්ගේ පාර්ශවය ගෙන ඇත. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් ශුභාරංචිය පදනම් කරගත් ස්ථාවරයක්, ස්ථාවරව අනුගමනය නොකිරීම පිළිබඳව අපි කනගාටු වෙමු. ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ ප්‍රකාශයන්ගෙන් නිරූපණය වූයේ ශුභාරංචියට වඩා රාජ්‍යයේ මතවාදයයි."

 

උතුරු - නැගෙනහිර, යුක්තිය සහ සාමය සඳහා වන පූජකවරුන් සහ පැවිදිවරුන් වෙනුවෙන් රොහාන් ඩොමිනික් පියතුමා (CMF)  අවධාරණය කරන්නේ ඊළාම් දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය ඇති වූයේ ඊළාම් දෙමළ ජනතාවට එරෙහිව සිංහල රාජ්‍යය දියත් කළ මර්දනකාරී ක්‍රියාමාර්ග හේතුවෙන් බවයි. ගැටුමට මූලික වූ හේතු පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ මුල්ලිවයික්කාල්වලින් කෙළවර වූ ජන සංහාරක යුද්ධය සම්බන්ධයෙන් දෙමළ වින්දිතයන්ට සහ දිවි ගලවා ගත් අයට දොස් පැවරීම, සභා නායකත්වයේ පැත්තෙන් ' මඟ හැරීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ ' උපාය මාර්ගයක් නිරූපණය කරන බව මැයි 25 වැනිදා නිකුත් කළ ප්‍රකාශනයේ වැඩි දුරටත් සදහන්ය.

 

උතුරු - නැගෙනහිර, යුක්තිය සහ සාමය සඳහා වන පූජකවරුන් සහ පැවිදිවරුන් වෙනුවෙන් රොහාන් ඩොමිනික් පියතුමා (CMF)  විසින් නිකුත් කළ ප්‍රකාශනයේ සදහන්ව ඇත්තේ   දෙමළ සන්නද්ධ ප්‍රතිරෝධය යනු යටත්විජිතසමය දක්වා දිවෙන ඉතිහාසයේ දිගු කාලීන මර්දනයේ සහ වෙනස් කොට සැලකීමේ ප්‍රතිඵලයක් බවයි. "ඓතිහාසික කරුණු ප්‍රතික්ෂේප කිරීමට සහ සත්‍යය වැලලීමට දරන ඕනෑම උත්සාහයක් අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර හෙළා දකිමු. යුක්තිය සඳහා සත්‍යය සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ. යුක්තිය නොමැතිව සාමයක් නැත." එහි තව දුරටත් සදහන්ය.

උතුරු - නැගෙනහිර, යුක්තිය සහ සාමය සඳහා වන පූජකවරුන් සහ පැවිදිවරුන් වෙනුවෙන් රොහාන් ඩොමිනික් පියතුමා (CMF) විසින් නිකුත් කර ඇති එම ප්‍රකාශය මගින් සිහිපත් කර ඇත්තේ  උතුරු - නැගෙනහිර රදගුරු කවුන්සිලය 2022 මැයි 16 දිනැති ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශය මගින් මැයි 18 වන දින "දෙමළ ජන සංහාරක දිනය" ලෙස සිහිපත් කළ යුතු බව පැහැදිලිවම ඉල්ලා සිටි බවයි.  "රදගුරුතුමන්ලාගේ ප්‍රකාශය මගින් "අපව නිදහස් කරන්නේ සත්‍යය පමණක් " බව ද අවධාරණය කරන ලදී.

යුද්ධයේ අවසාන අදියරේදී බලහත්කාරයෙන් අතුරු දහන් කරන ලද, සහ ඒ පිළිබඳව සභාව තවමත් නිහඬතාවයක් රකින ෆ්‍රැන්සිස් ජෝශප් පියතුමා, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ වෙත යැවූ ඔහුගේ අවසන් ලිපියෙන් (2009 මැයි 10) කොටසක්ද රොහාන් ඩොමිනික් පියතුමා (CMF) සිය  ප්‍රකාශයට ඇතුලත් කොට ඇත්තේ පහත අයුරිනි.

"මෙම ලිපිය ශ්‍රී ලංකා රජයේ කෝපය අවදි කරවන බවත්, ඔවුන් මා මරා දමා පළිගැනීමට පෙළඹෙනු ඇති බවත් මම නොදන්නවා නොවේ. සමහර සභා බලධාරීන් මා සභාවෙන් නෙරපා හැරීමට (excommunicating) යම් යම් හේතු සොයා ගත හැකි බව ද මම නොදන්නවා නොවේ. නමුත් සත්‍යය, යුක්තිය සහ පෑගුණු හා අත්හැර දැමූ ජනතාවගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට පෙරමුණ ගත යුතුව තිබූ සභාවේ නිහඬතාවය දෙසට මගේ හෘද සාක්ෂියට අනුව ඇඟිල්ල දිගු කිරීම මගේ යුතුකමක් ලෙස මම සලකමි.... ප්‍රචණ්ඩත්වය හමුවේ සභාව දක්වන නිහඬතාවය, නිසැකවම ලෝකය තුළ එහි සදාචාරාත්මක අධිකාරිය පලුදු කරනු ඇත."

 

දිවයින පුරා සිටින පැවිදිවරුන් සහ පූජකවරුන් 460 දෙනෙකුගේ අත්සනින්, උතුරු - නැගෙනහිර රදගුරු කවුන්සිලයේ සභාපතිවරයා හරහා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපතිවරයා වෙත යවන ලද ප්‍රකාශයක් මගින්, මැයි 18 වන දින "දිවයින පුරා ශෝක වීමේ, යාච්ඤා කිරීමේ සහ පශ්චාත්තාප වීමේ දිනයක්" ලෙස සලකන ලෙස ඉල්ලා සිටියත්  අද වනතුරුත් මෙම ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව උතුරු - නැගෙනහිර, යුක්තිය සහ සාමය සඳහා වන පූජකවරුන් සහ පැවිදිවරුන් වෙනුවෙන් රොහාන් ඩොමිනික් පියතුමා (CMF) විසින් නිකුත් කර ඇති එම ප්‍රකාශයේ සදහන් වේ.

 

"අපගේ වත්මන් ප්‍රකාශය මගින්, ඊළාම් දෙමළ ජනතාවට එරෙහි ඓතිහාසික ජන සංහාරක ක්‍රියාවලිය 2009 වසරේ මුල්ලිවයික්කාල්හිදී එහි උච්චතම අවස්ථාවට ළඟා වූ බවත්, දෙමළ නිජබිම තුළ ක්‍රමානුකූල ජන සංහාරයක් අඛණ්ඩව දිග හැරෙමින් පවතින බවත් අපි ප්‍රකාශ කරමු. සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්නන් ඉලක්ක කිරීම මගින් නිරූපණය වන්නේ, අපගේ සත්‍යය, මාර්ගය සහ ජිවනය වන ජේසුස් වහන්සේට එරෙහිව රෝම අධිරාජ්‍යය අනුගමනය කළ ක්‍රියා මාර්ගය පමණි."

රොහාන් ඩොමිනික් පියතුමා (CMF)  විසින් මැයි 25 වැනිදා "ඊළාම් දෙමළ ජනතාවගේ සාමූහික දේශපාලන අභිලාෂයන් සහ දෙමළ ජන සංහාරය පිළිබඳ ප්‍රකාශය" මැයෙන්  නිකුත් කළ ප්‍රකාශයේ  අවසන් වශයෙන් සදහන්ව ඇත්තේ  "අපි ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශනයට පූර්ණ එකඟතාවය පල කරමින් එතුමා සමග සිටගන්නෙමු." යනුවෙනි.

සබැඳි පුවතක් :

දෙමල ජන සංහාර කතාව කතෝලික පල්ලිය ප්‍රතික්ෂේප කරයි

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...