සොයාගත් වනසත්ත්ව මස්, ජීවී ගල් ඉබ්බන් සහ ඇත්දළ පළඳනාව සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් විශේෂඥ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි අද (මැයි 26) ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළාය.
වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී ගෝන මස්, කබල්ලෑ මස්, මී මින්නා මස්, ඉබි මස් ඇතුළු වනසත්ත්ව මස් වර්ග ද, ඉබි බිත්තර 14ක්, ජීවී ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස්වලින් සකසන ලද පළඳනාවක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබිණි.
සිද්ධියට අදාළ වැටලීම වීඩියෝ ගත කළ වනජීවී නිලධාරීන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මීට අමතරව සැකකාර කපු මහතාගේ ජංගම දුරකථන ඇමතුම් විශ්ලේෂණ වාර්තා (CDR) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අදාළ දුරකථන සමාගම් වෙත නියෝග නිකුත් කෙරිණි.
‘මස් සහ ඉබ්බන් ළඟ තබාගත්තේ පූජාවකට’ - විත්තියේ තර්කය
නඩු විභාගය අතරතුර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රිටිගල වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ ප්‍රකාශ කළේ ආරක්ෂිත වනසතුන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු පරස්පර ප්‍රකාශ සිදුකරන බවයි.
කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම වනසත්ත්ව මස්, ජීවී ගල් ඉබ්බන් සහ ඉබි බිත්තර සැකකරු සන්තකයේ තිබුණේ විශේෂ පූජාවක් සඳහා බවත්, ඒවා බාහිර පාර්ශවයක් විසින් ඔහු වෙත ලබාදුන් ඒවා බවත්ය.
වනජීවී නිලධාරීන්ගේ චෝදනාව:
සැකකරු ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපුමහතා ලෙස කටයුතු කරමින් ලබාගත් ධන බලය සහ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමඟ ඇති සබඳතා උපයෝගී කරගනිමින් විමර්ශන විකෘති කිරීමට සහ ඊට බලපෑම් කිරීමට උත්සාහ දරන බව වනජීවී නිලධාරීන් මීට පෙර අධිකරණයට දන්වා තිබුණි.
දැනට ඇප මත මුදාහැර සිටින 50 හැවිරිදි සැකකරු සම්බන්ධ මෙම සිද්ධියට අදාළව හිමිනමක ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ. සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශන වාර්තාවක් ලබන අගෝස්තු මස 07 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




