පසුගිය බ්‍රහස්පතින්දා ඩොලරයක විකුණුම් මිල රුපියල් 348ක් දක්වා ඉහළ යමින් රුපියල දැඩි අවප්‍රමාණය වීමකට ලක් වුවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මැදිහත්වීම සහ වෙළෙඳපොළ නියාමනයත් සමඟ ඊයේ දිනය නිමාවන විට අන්තර් බැංකු ප්‍රතිභාග විනිමය අනුපාතයන් ඩොලරයකට ගැණුම් මිල රුපියල් 325.50ක් සහ විකුණුම් මිල රුපියල් 327.00ක් දක්වා ස්ථාවර වී ඇත.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රුපියලේ මෙම උච්චාවචනය දේශීය ආර්ථිකයේ බිඳවැටීමකට වඩා සමස්ත ආසියානු කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින පොදු ආර්ථික අර්බුදයක ප්‍රතිඵලයක් බවයි. විශේෂයෙන්ම ඉන්ධන ආනයනය මත යැපෙන ඉන්දියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය වැනි රටවල මුදල් ඒකකයන් ඩොලරයට සාපේක්ෂව දැඩි ලෙස කඩා වැටී ඇත. විදෙස් ආයෝජන ඉවත් කරගැනීම හමුවේ ඉන්දීය රුපියල මේ වසරේ කලාපයේ දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇති අතර, ඉන්දුනීසියානු රුපියාව ද ඉතිහාසයේ අවම අගය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, කලාපීය Peers (සමකාලීන රටවල්) හා සසඳන විට ශ්‍රී ලංකාව සතු ගෙවුම් ශේෂ අතිරික්තය සහ බැංකු පද්ධතිය සතු විදේශීය වත්කම් හේතුවෙන් මෙරට ආර්ථිකයට ගෝලීය බලපෑම් දරාගැනීමේ යම් හැකියාවක් පවතින බව ෆ්‍රොන්ටියර් රිසර්ච් (Frontier Research) ආයතනය පවසයි.
මේ අතර, ෆිච් සොලූෂන්ස් (Fitch Solutions) ආයතනයට අනුබද්ධ BMI ආයතනයේ විශ්ලේෂක කැරොලින් පැන්ග් (Carolyn Pang) පෙන්වා දෙන්නේ ඉදිරි මාසවලදී මැදපෙරදිග භූ-දේශපාලනික ආතතීන් සමනය වීමත් සමඟ ගෝලීය තෙල් මිල පහත වැටෙනු ඇති බවයි. මහ බැංකුවේ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ද උපකාරී කරගනිමින් වසර අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 320ක මට්ටමකට තවදුරටත් ශක්තිමත් විය හැකි බව ඇය පුරෝකථනය කරයි.
රුපියලේ මෙම නව පිබිදීම තාවකාලික සහනයක් වුවද, ඉදිරි මාස කිහිපය තුළ ගෝලීය තෙල් මිලෙහි හැසිරීම සහ ඇමෙරිකානු මහ බැංකුවේ පොලී අනුපාත ප්‍රතිපත්ති මෙරට විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධක වනු ඇත.




