මහාචාර්ය ජී. එල්. පීරිස් සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය (TNA) ඇතුළු මෙරට ප්‍රමුඛ දේශපාලන පක්ෂ 43ක නායකයින්, මහලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
"අවුරුදු 12කින් මැතිවරණ නෑ; පළාත් සභාවල සල්ලි හසුරවන්නේ ආණ්ඩුකාරවරු විතරයි!" – මහාචාර්ය ජී. එල්. පීරිස්
මෙහිදී අදහස් දැක්වූ ජනතාවාදී ඒකාබද්ධ පක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් අවධාරණය කර සිටියේ, 2014 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ කිසිදු පළාත් සභා මැතිවරණයක් පවත්වා නොමැති බවයි.
"තොටිල්ලේ සිට සොහොන දක්වා ජනතාවගේ එදිනෙදා ජීවිතයට අතිශයින්ම වැදගත් කාර්යභාරයක් පළාත් සභාවලට පැවරිලා තිබෙනවා කියලා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පවා ප්‍රකාශ කර තිබෙනවා. හැබැයි අද එකම පළාත් සභාවකවත් මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයෙක් නැහැ. මේ පළාත් සභාවල වැඩකටයුතු සඳහා වෙන් කර ඇති විශාල මුදල් කන්දරාව අද හසුරවන්නේ සහ තීරණ ගන්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි පමණයි. ජනතා නියෝජනයක් නැති මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි." මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසිය.
පැරණි ක්‍රමයට හෝ මැතිවරණය වහා පවත්වනු!
2017 වසරේදී එතෙක් පැවති ඡන්ද ක්‍රමය අහෝසි කළද, ඒ වෙනුවට අලුත් ක්‍රමයක් ආදේශ නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට දේශපාලන පක්ෂ 43ක ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාව හමුවී, 2017ට පෙර පැවති පැරණි මැතිවරණ ක්‍රමය යටතේ හෝ වහාම මැතිවරණය පවත්වන ලෙස ලිඛිතව ඉල්ලා ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය වන සරල සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන මෙම වර්ෂය තුළ අනිවාර්යෙන්ම මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එමෙන්ම මෙහිදී 25%ක තරුණ හා කාන්තා නියෝජනයක් ලබා දීමටද පක්ෂ නායකයින් එකඟතාව පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
"පළාත් සභා හැදුණේ මහා ගිනි ජාලාවක් මැදින්; අද 'Gen Z' පරම්පරාව ඒ ලේ වැකි ඉතිහාසය දන්නේ නැහැ!" – රාජිත සේනාරත්න
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය හමුව ඇමතූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, පළාත් සභා ක්‍රමය මෙරට ස්ථාපිත කිරීමට සිදුවූ ඛේදජනක සහ ප්‍රචණ්ඩකාරී අතීතය සිහිපත් කළේය. තමන්ද එම ප්‍රචණ්ඩත්වයේ වින්දිතයෙකු බව පවසමින්, සිය සිරුරේ අදටත් බෝම්බ කෑලි පවතින බව ඔහු අනාවරණය කළේය.
"අද ඉන්න 'ජෙන් සී' (Gen Z) පරම්පරාව දන්නේ නැහැ මොනතරම් කුරිරු අන්දමකින්ද මේ පළාත් සභා නිර්මාණය වුණේ කියලා. 1987 ඉන්දු-ලංකා ගිවිසුම හරහා බලය බෙදීමට උත්සාහ කරද්දී උතුරේ වගේම දකුණේ ත්‍රස්තවාදීනුත් ඒකට විරුද්ධ වුණා. මුළු රටම ගිනි ජාලාවක් වුණා." යයි රාජිත සේනාරත්න මෙහිදී කියා සිටියේය.
"භීෂණ සමයේ සිදුවූ 6,661ක ඝාතන"
එදා ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් "පළා බබා අපිට එපා" කියමින් පාසල් සිසුන් පවා පාරට ඇද දමා රට පුරා සිදුකළ මහා විනාශය සහ පුද්ගල ඝාතන පිළිබඳව රාජිත සේනාරත්න මෙහිදී සංඛ්‍යාලේඛන සහිතව දීර්ඝ විස්තරයක් කළේය.
එම භීෂණ සමය තුළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දඬුවම් දීමේ බලකාය මඟින් නිකුත් කළ මරණ වරෙන්තු පිළිබඳවද ඔහු කරුණු දක්වන ලදී.
එදා භීෂණයට බිලිවූ ජීවිත පිළිබඳ සේනාරත්න ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන:

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, මහාචාර්ය පටුවතවිතාන වැනි විද්වතුන් මෙන්ම රටට සේවයක් කළ විශාල පිරිසක් ජීවිතවලින් වන්දි ගෙවා ලබාගත් මෙම පළාත් සභා ක්‍රමය, වත්මන් පාලකයින් විසින් මැතිවරණ නොපවත්වා අකර්මණ්‍ය කර තැබීමට එරෙහිව සමස්ත විපක්ෂයම ඉදිරියටත් එක හඬින් පෙනී සිටින බව නායකයෝ මෙහිදී අවධාරණය කළහ.





