ඕනෑම බාහිර හෝ අභ්‍යන්තර කම්පනයකට නොසැලී ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ දෙවන අදියර යටතේ, රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝමීටර් 18.7ක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති දැවැන්ත ජන හමුව අමතමිනි.

වසර පහ ඇදගෙන යාම නෙවෙයි, අපේ ඉලක්කය ස්ථාවර රටක්!
පසුගිය ආණ්ඩු වාණිජ වෙළෙඳපොළෙන් අධික පොලියට ණය ලබා ගනිමින් තමන්ගේ වසර පහේ නිල කාලය කෙසේ හෝ ඇදගෙන යාමට කටයුතු කළ ද, වත්මන් රජය බලයට පත්වූයේ එවැනි කෙටිකාලීන පටු අරමුණු වෙනුවෙන් නොවන බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.
ඩොලරයේ උච්චාවචනයන් හමුවේ රජය බිඳ වැටෙනු ඇතැයි ඇතැමුන් මත පළ කළ ද, රජය සතුව ආර්ථිකයේ ඉදිරි දිශානතිය පිළිබඳ නිසි දැක්මක් හා සැලැස්මක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගිය "දිට්වා" සුළි කුණාටු ව්‍යසනය හමුවේ වින්දිතයන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් කෝටි 50,000ක් වෙන් කිරීමට මහා භාණ්ඩාගාරයට හැකි වූයේ දේශීය කම්පනවලට මුහුණ දීමේ ශක්තිය රජය සතු නිසා බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
රුපියල් බිලියන 1200ක ධන අතිරික්තයක් සහ පුද්ගලික අංශයට දිරිගැන්වීම්
රටේ මූල්‍ය ශක්තිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
"2022-2023 කාලයේ භාණ්ඩාගාරය පැවතුණේ බිලියන 800ක බැංකු අයිරාවකයි. නමුත් අද වන විට ජාතික ආදායම දශක තුනකට පසු 16.7%ක් දක්වා ඉහළ නංවා ගනිමින් භාණ්ඩාගාර ගිණුම රුපියල් කෝටි 120,000ක (බිලියන 1200) ධන අතිරික්තයක් දක්වා ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. දැන් රජය ප්‍රධාන ණය ගන්නෙකු නොවන නිසා බැංකු පද්ධතිය හරහා පුද්ගලික අංශයට සහ කර්මාන්ත සඳහා ණය ලබා දීම බිලියන 2000 දක්වා ඉහළ දමා තිබෙනවා."
2027 වසර සඳහා රුපියල් ට්‍රිලියන 02ක ප්‍රාග්ධන වියදමක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ වැඩකටයුතු මෙන්ම දුම්රිය විද්‍යුත්කරණ ව්‍යාපෘති ද කඩිනමින් ආරම්භ කරන බවත් මෙහිදී අනාවරණය විය.
''අපි ණය ගන්නේ 2040දී ගෙවන්න පුළුවන්ද බලලා..."
ලංකා ඉතිහාසයේ පළමු වතාවට අනාගතය ගැන සිතා වැඩ කරන ආණ්ඩුවක් බිහිවී ඇති බව පැවසූ ජනාධිපතිවරයා, වත්මන් රජය ණය ලබා ගන්නේ 2035 හෝ 2040 වසරවලදී එම ණය ගෙවීමේ හැකියාව සහ ණය තිරසරභාවය පිළිබඳව මැනවින් ගණනය කිරීමෙන් පසුව පමණක් බව ප්‍රකාශ කළේය.
"ප්‍රමාදය හැමවිටම ගාස්තුවක්" - කොන්ත්‍රාත්කරුවන්ට දැඩි නියෝගයක්!
මෙහිදී දේශීය කොන්ත්‍රාත්කරුවන් කෙරෙහි විශ්වාසය තබන බව පැවසූ ජනාධිපතිවරයා, ප්‍රමාදය නිසා රටට සිදුවන මූල්‍ය හානිය වැළැක්වීම සඳහා නියමිත කාලය තුළම වැඩ නිම කළ යුතු බවට කොන්ත්‍රාත්කරුවන්ගෙන් තරයේ ඉල්ලා සිටියේය.
මීට සමගාමීව ක්‍රියාත්මක වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ පළමු අදියරේ ඉදිකිරීම් ලබන වසරේ (2027) මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂිතය.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.





