ඊට කිසිසේත්ම ඉඩ තැබිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ බාහිර බලවේගවලට අවශ්‍ය පරිදි රටේ අභ්‍යන්තර ක්‍රියාවලීන්ට ඇඟිලි ගැසීමට ඉඩ නොදී, රටටම ආවේණික වූ ශක්තිමත් ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගිය යුතු බවයි.
මැයි 28 වැනිදා රාත්‍රියේ පැවැති තිස්සමහාරාම, පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ 19 වැනි වෙසක් මංගල්‍යයට සමගාමී රුහුණු වෙසක් මහා පෙරහැර අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.
මෙම පෙරහැරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා කැලණිය රජමහා විහාරයට අයත් ‘කණ්ඩුල’ හස්ති රාජයා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබාදී තිබුනේ ද සජිත් ප්‍රේමදාස විසිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, වත්මන් භයානක ආර්ථික අර්බුදය හමුවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ආදායම් මාර්ග අහිමි වී ජීවිත අසරණ වී ඇති බවයි. මෙවන් වටපිටාවක වහල්භාවයෙන් මිදී, රටේ සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස සහ අපේ සංස්කෘතිය රැක ගනිමින් රට දියුණු කිරීමට සැවොම කැපවිය යුතු බව ඔහු පැවසීය.
"පෙරහැර සංස්කෘතිය රැකගන්න වෙනම 'හීලෑ අලි සංචිතයක්' හදන්න ඕනේ"
දේශයේ පෙරහැර සංස්කෘතිය විචිත්‍රවත් කරන හස්ති පරපුර ක්‍රමයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස, ඊට පිළියමක් ලෙස පෙරහැර මංගල්‍යයන් නැවැත්වීම නොකළ යුතු බව ප්‍රකාශ කළේය. සතුන්ගේ සෞඛ්‍ය හා නීරෝගීභාවය සුරක්ෂිත වන පරිදි වෙනමම ‘හීලෑ අලි සංචිතයක්’ ස්ථාපිත කොට, විහාරස්ථානවල අවශ්‍යතාව පරිදි ලබා දෙමින් සංස්කෘතිය රැක ගැනීමට කටයුතු කළ යුතු බව ද ඔහු යෝජනා කළේය.
එමෙන්ම, වත්මන් දූ දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් වෙමින් පවතින බව කනගාටුවෙන් මතක් කළ විපක්ෂ නායකවරයා, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයෙන් තොර, ගුණගරුක හා නීතිගරුක ශිෂ්ටසම්පන්න පුරවැසියන් බිහි කිරීම සඳහා ගමේ පන්සල කේන්ද්‍ර කරගත් දහම් පාසල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
බුදුදහමට අනුව දෙව් මිනිස් සැමගේ ආර්ථික සමෘද්ධිය සහ හිතසුව පිණිස කටයුතු කිරීම පාලකයන්ගේ වගකීමක් බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස, රටේ සෑම පුරවැසියෙකුටම කිසිවෙකුටත් ණය නොවී, කරදරයකින් තොරව සුවපහසුවෙන් ජීවත් විය හැකි සමාජ වටපිටාවක් රට තුළ බිහි කළ යුතු බව පවසමින් සිය කතාව අවසන් කළේය.




