පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී, ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් මෙම ධුරය අත්හිටුවීමට පියවර ගත් බව මල්වතු මහා විහාරය නිල වශයෙන් නිවේදනය කරයි.
මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අත්සනින් යුතුව අද (30) නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ, හේමරතන හිමියන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවධානය යොමු කරමින් කාරක මහා සංඝ සභාව විසින් අදාළ පාර්ශ්වයන් කැඳවා කරුණු විභාග කළ බවයි. ඒ අනුව, මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2026.05.30 දින රැස් වූ සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීමට පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමි පත් කෙරේ
මේ අතර, පවතින තත්ත්වය හමුවේ අටමස්ථානාධිපති ධුරයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා, එහි කටයුතු තාවකාලිකව ආවරණය කිරීමට රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්ථවිරයන් වහන්සේ පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර තිබේ.
ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි සහ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි අටමස්ථාන කමිටුව විසින් මෙම තාවකාලික පත්කිරීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
අධිකරණ ක්‍රියාවලිය නිමාවන තෙක් අනුරාධපුර අටමස්ථානයේ පරිපාලන සහ ආගමික වතාවත් මෙහෙයවීම නව තාවකාලික අටමස්ථානාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවනු ඇත.





