මීට පෙර කිසිදු පරීක්ෂණයකින් සලේ වැරදිකරු කර නැතැයි මහා සංඝරත්නය පෙන්වා දෙද්දී, මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මැදිහත්කරුවෙකු ලෙස නඩුවට එක්වීමෙන් උණුසුම් තත්ත්වයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සිරකර තැබීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම, මෙරට ප්‍රමුඛතම බෞද්ධ සහ කතෝලික ආගමික නායකයන් අතර පවතින මතවාදී නීතිමය සටනක් බවට පරිවර්තනය වෙමින් පවතී.
මෙම රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා පස්යොදුන්රට බෞද්ධ සම්මේලනයේ සභාපති, ඓතිහාසික කන්දේ විහාර මහා පිරිවෙනේ පරිවේණාධිපති පූජ්‍ය රාජකීය පණ්ඩිත දාපනේ ශ්‍රී මහින්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් ද වෙන වෙනම මැදිහත්කාර පෙත්සම් (Intervention Papers) අධිකරණයට ඉදිරිපත් කිරීම මෙයට හේතුවයි.
අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය ලබාගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් අභියාචනාධීකරණය හමුවේ ගොනු ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් පෙත්සමක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකොට ඇත. අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයන්ට බාධා නොකරන ලෙස ඉල්ලා මෙම මැදිහත් පෙත්සම ගොනුකොට ඇත.
සලේ වෙනුවෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කළ තර්ක
පස්යොදුන්රට බෞද්ධ සම්මේලනය වෙනුවෙන් ඉදිරිපත් වූ මහා සංඝරත්නය අවධාරණය කරන්නේ මෙම මැදිහත් වීම පොදු මහජන අභිලාෂයන් වෙනුවෙන් මිස නීත්‍යානුකූල පරීක්ෂණවලට බාධා කිරීමට නොවන බවයි.
නිල වාර්තාවල තත්ත්වය:
ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් මෙම ප්‍රහාරය සහරාන් හෂීම් ඇතුළු NTJ සංවිධානය විසින් සිදුකළ බවට ස්ථිර කර ඇති අතර, රාජ්‍ය නිලධාරීන්ට චෝදනා එල්ල වූයේ බුද්ධි තොරතුරු ලැබී ක්‍රියාත්මක නොවීම ගැන පමණි. කිසිදු නිල විමර්ශනයකින් සුරේෂ් සලේ මෙම ප්‍රහාරය සැලසුම් කළ බවට හෝ ඊට පහසුකම් සැලසූ බවට සාක්ෂි හමු වී නැත.
බුද්ධි අනතුරු ඇඟවීම්:
සුරේෂ් සලේ ප්‍රහාරයට පෙර ඉස්ලාමීය අන්තවාදයේ නැඟී සිටීම පිළිබඳව බලධාරීන්ට කල්තියා අනතුරු ඇඟවූ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවලම සටහන්ව තිබේ.
වාර්ගික හා ආරක්ෂක අවදානම:
ස්ථිර සාක්ෂි නොමැතිව, සිංහල බෞද්ධ මිලිටරි සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම ප්‍රහාරය පිටුපස සිටින බවට ගොඩනඟන පදනම් විරහිත ප්‍රචාරයන් හේතුවෙන් ජාතික ආරක්ෂාව, බුද්ධි අංශ කෙරෙහි පවතින මහජන විශ්වාසය සහ ආගමික සමගිය සහමුලින්ම අනතුරේ වැටෙන බව සංඝරත්නය පෙන්වා දෙයි.
කාදිනල් හිමියන්ගේ මැදිහත් වීම සහ ආගමික ඝර්ෂණය
බෞද්ධ පාර්ශවය සලේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටින පසුබිමක, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ද මෙම නඩු විභාගයට සෘජුවම මැදිහත් වී තිබේ.
නීතිමය හරස් කැපුම්:
කාදිනල් හිමියන් විසින් ගොනු කරන ලද මැදිහත්කාර පෙත්සම මඟින් සුරේෂ් සලේ ට එරෙහිව පවතින විමර්ශනවල ස්වභාවය සහ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව වෙනත් නීතිමය කියවීමක් අධිකරණය හමුවේ තැබීමට නියමිතය.
ආගමික සමගියට බලපෑම්:
රටේ ප්‍රධාන ආගමික ධාරාවන් දෙකක නායකයන් මෙලෙස එකම නඩුකරයක් තුළ ප්‍රතිවිරුද්ධ ස්ථාවරයන් නියෝජනය කරමින් මැදිහත් වීම, දිගුකාලීනව රටේ අන්තර් ආගමික සහජීවනයට සහ සමාජයීය ස්ථාවරත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බව නීතිමය ක්ෂේත්‍රයේ විචාරකයන් පෙන්වා දෙයි.
අභියාචනාධිකරණය හමුවේ පවතින මෙම නඩුකරය හරහා ඉදිරියේදී පාස්කු ප්‍රහාරයේ නිල අධිකරණ තීන්දුවල නිරවද්‍යතාවය මෙන්ම ජාතික සමගියට බලපාන සංවේදී සාක්ෂි රැසක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හෙට ( 17) සලකා බැලිමට නියමිතය.




