The Leader News
BREAKING
උසාවි නියෝගයෙන් වතු නිවාස කඩයි - බදුල්ලේ මලයහ පවුල් කීපයක් අසරණයි●DIGEnote | අයවැය අතිරික්තය බිලියන 22 දක්වා ඉහළට: ප්‍රාථමික අතිරික්තය ට්‍රිලියන 1.8යි●81 වැනි අය-වැය හෙට සභාගත වෙයි: සහන රැසක් අතළඟ● වරාය නගරයෙන් ඇරඹෙන නව ගුවන් ගමන් පෙරළිය●බ්‍රිතාන්‍ය ආයෝජන දිනාගන්න ලන්ඩනයේදී විශේෂ මෙහෙයුමක්●පාසල් දරුවන් බිලිගන්නා අයිස් මත් රකුසා●විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකුට පළමු වරට බුකර් ත්‍යාගය හිමිවෙයි ●නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මැතිනියගේ අනුසාරයෙන් PSTA පනතේ ත්‍රස්තවාදියා සොයාගැනීම●චීනයේ පියාඹන මෝටර් රථ අහසට එසවෙන හැටි●ඉසබෙල් අයියන්දේට ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක්●
Top Ad
පුවත්

81 වැනි අය-වැය හෙට සභාගත වෙයි: සහන රැසක් අතළඟ

Awara

Awara

November 11, 2026 • 3:37 PM

81 වැනි අය-වැය හෙට සභාගත වෙයි: සහන රැසක් අතළඟ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 81 වැනි අය-වැය ලේඛනය, මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (12) පස්වරු 2.00 ට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
  • මෙය ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන තෙවැනි පූර්ණ අය-වැය ලේඛනය වන අතර, 2025 වර්ෂයේ ආරම්භයේදී ගිණුම් ඡන්දයකින් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමෙන් අනතුරුව, රටේ ආර්ථිකය ස්ථාවරත්වයේ සිට තිරසාර වර්ධනයක් කරා ගෙනයාමේ තීරණාත්මක පදනම මෙමගින් සකස් කෙරේ.
  • අය-වැය විවාද කාලසටහන සහ අවසන් ඡන්දය හෙට (12) දින ඉදිරිපත් කෙරෙන 80 වැනි අය-වැය ලේඛනයේ දෙවැනි වර කියවීමේ විවාදය ලබන 13 සිට 20 වැනිදා දක්වා දින 7ක් පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු සංවිධානය කර ඇත.
  • මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60ක කාලයක්ද විපක්ෂයට සියයට 40ක කාලයක්ද හිමිවන අතර, අය-වැය කටයුතු වෙනුවෙන් එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 81 වැනි අය-වැය ලේඛනය, මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (12) පස්වරු 2.00 ට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙය ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන තෙවැනි පූර්ණ අය-වැය ලේඛනය වන අතර, 2025 වර්ෂයේ ආරම්භයේදී ගිණුම් ඡන්දයකින් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමෙන් අනතුරුව, රටේ ආර්ථිකය ස්ථාවරත්වයේ සිට තිරසාර වර්ධනයක් කරා ගෙනයාමේ තීරණාත්මක පදනම මෙමගින් සකස් කෙරේ.

අය-වැය විවාද කාලසටහන සහ අවසන් ඡන්දය

හෙට (12) දින ඉදිරිපත් කෙරෙන 80 වැනි අය-වැය ලේඛනයේ දෙවැනි වර කියවීමේ විවාදය ලබන 13 සිට 20 වැනිදා දක්වා දින 7ක් පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු සංවිධානය කර ඇත. මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60ක කාලයක්ද විපක්ෂයට සියයට 40ක කාලයක්ද හිමිවන අතර, අය-වැය කටයුතු වෙනුවෙන් එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

දෙවැනි වර කියවීමේ තීරණාත්මක ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වේ. ඉන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වෙන අතර, එහිදී විපක්ෂයට සියයට 60ක කාලයක් වෙන් කර අමාත්‍යාංශ ශීර්ෂ දීර්ඝ ලෙස විවාදයට ගැනේ. අය-වැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 19 වෙනි දින සිදු කෙරෙන අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මුදල් නිදහස් කිරීමේ වරෙන්තු අත්සන් කර අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පසු 2027 ජනවාරි 01 වැනිදා සිට නව අය-වැය යෝජනා නිල වශයෙන් ක්‍රියාත්මක වේ.

2027 විසර්ජන පනත: සමස්ත වියදම් හා ණය සීමාව

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2027 විසර්ජන පනත් කෙටුම්පතට අනුව, 2027 මුදල් වර්ෂය සඳහා රජයේ සේවා වියදම රුපියල් බිලියන 4,992.77ක් හෙවත් රුපියල් කෝටි 4,99,277ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. මෙය 2026 වර්ෂයේ රාජ්‍ය සේවා වියදමට වඩා සියයට 12.6ක සැලකිය යුතු වර්ධනයකි. එම සමස්ත සේවා වියදම ප්‍රධාන කොටස් දෙකකට බෙදී යයි. ඊට අනුව පුනරාවර්තන වියදම රුපියල් බිලියන 3,240.24ක් (රුපියල් කෝටි 3,24,024ක්) වන අතර, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,752.53කි (රුපියල් කෝටි 1,75,253ක්). ප්‍රාග්ධන වියදම 2026 වර්ෂයට වඩා සියයට 24.7කින් ඉහළ ගොස් තිබීමෙන් පැහැදිලි වන්නේ රජය ජාතික සංවර්ධන හා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යටිතල පහසුකම් වෙනුවෙන් වැඩි බරක් තබා ඇති බවයි.

විසර්ජන පනතේ දෙවැනි උපලේඛනය යටතේ ව්‍යවස්ථාගත වියදම් ලෙස රුපියල් බිලියන 4,927ක් (රුපියල් කෝටි 4,92,700ක්) වෙන් කර ඇති අතර, ඉන් රුපියල් බිලියන 2,641ක් ණය පොලී ගෙවීම් සඳහාත්, රුපියල් බිලියන 2,204ක් ණය මුල් මුදල් ආපසු ගෙවීම සඳහාත් වෙන් කෙරේ. ඒ අනුව 2027 විසර්ජන පනතින් ආවරණය වන රාජ්‍යයේ සමස්ත මුළු වියදම රුපියල් බිලියන 9,920ක් (රුපියල් කෝටි 9,92,000ක්) පමණ වේ.

රාජ්‍ය මූල්‍ය උපාය ප්‍රකාශනයට අනුව, 2027 වර්ෂයේ රජයේ මුළු ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 4,990ක් හෙවත් රුපියල් කෝටි 4,99,000ක් වනු ඇතැයි අපේක්ෂිතය. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.5කි. අය-වැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 දක්වා අඩු කර ගැනීමටත්, ප්‍රාථමික අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.6ක මට්ටමක පවත්වා ගැනීමටත් රජය ඉලක්ක කරයි. 2027 වර්ෂය සඳහා ප්‍රාථමික වියදම් සීමාව රුපියල් ට්‍රිලියන 5.064ක් ලෙස තීන්දු කර ඇත. අය-වැය පරතරය පියවා ගැනීම පිණිස 2027 වර්ෂයේදී රජයට ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3,800ක් හෙවත් රුපියල් කෝටි 3,80,000ක් ලෙස විසර්ජන පනතින් නියම කර තිබේ.

රජය අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීම පාලනය කරමින්, රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම තුළින් අය-වැය පරතරය පියවා ගැනීමට කටයුතු කරන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 07 වැනි සමාලෝචනය යටතේ ලැබීමට නියමිත ඩොලර් මිලියන 345ක ණය වාරිකය ලබා ගැනීමටද මෙකී මූල්‍ය විනය අත්‍යවශ්‍ය සන්ධිස්ථානයක් වේ.

රාජ්‍ය සේවක වැටුප් සහ ජනතා සුබසාධනය

නව අය-වැය ලේඛනය මගින් ජනතා සුබසාධනය හා රාජ්‍ය සේවක සහන සඳහා විශාල ප්‍රමුඛතාවක් ලබා දී ඇත. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමේ තෙවැනි අදියර යටතේ රුපියල් 20,000 සිට රුපියල් 80,000 දක්වා වන වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයන් වෙත හිමිවීමට නියමිත අතර, මෙකී වැටුප් වර්ධක සඳහා රජය රුපියල් බිලියන 330ක මුදලක් වෙන් කර ඇත. එමෙන්ම ජනතා සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇති මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.2 ඉක්මවයි. ඊට අස්වැසුම සුබසාධන සහනාධාරය, වැඩිහිටි සහ ආබාධිත දීමනා, ගොවි ජනතාව සඳහා පොහොර සහනාධාරය මෙන්ම උසස් අධ්‍යාපන සිසුන් සඳහා වන මහපොළ ශිෂ්‍යත්ව දීමනා ද අන්තර්ගත වේ.

මීට අමතරව විශ්‍රාම වැටුප් ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කර තිබෙන අතර, 2027 වර්ෂය පුරාම නේවාසික දේපළ බද්ද අයකිරීම කල් දැමීමටත්, පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රුපියල් 200,000 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳව සලකා බැලීමටත් රජය පියවර ගෙන ඇත.

අමාත්‍යාංශ ප්‍රතිපාදන බෙදී යන අයුරු

අමාත්‍යාංශ සහ ඵලදායී ක්ෂේත්‍ර සඳහා මුදල් වෙන්කිරීමේදී රටේ යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම ග්‍රාමීය හා ඩිජිටල් ආර්ථිකය නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 856.85ක (රුපියල් කෝටි 85,685ක) ඉහළම ප්‍රතිපාදනය වෙන් කර ඇත. පළාත් සභා සඳහා රුපියල් බිලියන 659.95ක් (රුපියල් කෝටි 65,995ක්) සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 651.00ක් (රුපියල් කෝටි 65,100ක්) වෙන් කෙරේ.

මහජන සෞඛ්‍ය හා මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 590.50ක් (රුපියල් කෝටි 59,050ක්) වෙන් කර ඇති අතර, රටේ යටිතල පහසුකම් නැංවීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 500.00ක් (රුපියල් කෝටි 50,000ක්) ලබා දී තිබේ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 458.00ක් (රුපියල් කෝටි 45,800ක්) හිමිවන අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 328.00ක් (රුපියල් කෝටි 32,800ක්) වෙන් කර ඇත.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 230.50ක් (රුපියල් කෝටි 23,050ක්) ද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 218.00ක් (රුපියල් කෝටි 21,800ක්) ද හිමිවේ. විශේෂයෙන්ම ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 79.80ක් (රුපියල් කෝටි 7,980ක්) වෙන් කරමින් සියයට 107ක දැවැන්ත වර්ධනයක් සලසා දී ඇති අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 26.00ක් (රුපියල් කෝටි 2,600ක්) ලබා දෙමින් සියයට 63ක වර්ධනයක් ලබා දීම කැපී පෙනෙන ලක්ෂණයකි.

ආර්ථික ඉලක්ක සහ ඉදිරි නීති ප්‍රතිසංස්කරණ

2027 වර්ෂය සඳහා රජය සියයට 4.2ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන අතර උද්ධමනය පාලනය කරගනිමින්, විරැකියාව අවම කිරීම සහ සැබෑ නිෂ්පාදන ආර්ථිකයක් ස්ථාපිත කිරීම මෙම අය-වැයේ ප්‍රධාන අභිප්‍රාය වේ.

ආර්ථික ව්‍යුහය නවීකරණය කිරීම සඳහා 2027 පෙබරවාරි මාසය වන විට වැදගත් නව පනත් කෙටුම්පත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති අතර ඊට රේගු පනත නවීකරණය කිරීමේ පනත, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ (SOE Reform) පනත, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) පනත සහ නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පනත ඇතුළත් වේ.

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...