පෞද්ගලික හිමිකාරිත්වයක් සහිත ඉඩමක පරම්පරා තුනක කාලයක් ජීවත් වු මලයහ දෙමළ පවුල් කිහිපයකට අධිකරණ නියෝගයක් මගින් හදිසියේම ඔවුන්ගේ නිවාස අහිමි කිරීම නිසා උන් හිටි තැන් අහිමි වීමෙන් එම ජනතාව දැඩි අසරණ තත්වයකට පත්ව සිටී.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අධිකරණ නියෝගයක් හේතුවෙන් උන් හිටි තැන් අහිමිව සිටින්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බත්ගොඩ, අංක 6 වතුයායේ පරම්පරා තුනක් තිස්සේ ජීවත් වු මලයහ පවුල් 11 ක් අතුරින් පවුල් 6 කට අයත් පිරිසක් බවයි.
තමන් ජීවත් වු නිවාස දෙකක් මේ වන විටත් කඩා ඉවත් කර තවත් නිවාස හතරක් කඩා ඉවත් කිරීමට නියමිත බව පෙන්වා දෙන ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ජීවත් වීමට නිවසක් ඉදිකර දෙන ලෙසයි.
අක්කර 65ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත බත්ගොඩ අංක 6 වතුයාය පෞද්ගලික ඉඩමක් වන අතර වර්තමානයේ එහි හිමිකාරීත්වය දරන්නේ කුමාරි දිසානායක නමැත්තියකි. මෙම වතුයායේ 1930 වසරේ ඉදිකරන ලද පේළි නිවාස තුනකින් යුත් ලැයිම් කාමරවල අතීතයේ පවුල් 20ක් පමණ ජීවත් වී තිබේ.
කළමනාකාරීත්වයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් ජීවත් වීමට නොහැකි තත්වයක් උද්ගත වීම නිසා ඇතැම් පවුල් ක්‍රමයෙන් වතුයායෙන් ඉවත්ව ගොස් ඇති අතර, මේ වන විට එහි පවුල් 11ක් පමණක් පමණක් ජීවත් වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
නිවාස දෙකක් බිමට: පවුල් 6ක් අසරණයි
අධිකරණ නියෝගය මගින් දැනුම් දී ඇත්තේ ඔවුන් අතරින් පවුල් හයකට එම නිවාස වලින් ඉවත් වන ලෙසයි. ඒ අනුව, 2026 නොවැම්බර් 5 වැනිදා නිවාස දෙකක් කඩා ඉවත් කර ඇති අතර, ඉතිරි නිවාස හතරද කඩා ඉවත් කිරීමට නියමිතව ඇත.
තමන් ජීවත් වූ නිවස කඩා ඉවත් කිරීමෙන් පසු ජීවත් වීමට ආරක්ෂිත ස්ථානයක් නොමැති වීමෙන් සිය ඥාතියකුගේ නිවාසයක තාවකාලිකව රැදි සිටින එස්. විජයකුමාරි මාතාව පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ දැඩි කනස්සල්ල පළ කළාය.
“අපට ජීවත් වෙන්න තැනක් නැහැ. අද දරුවන් එක්ක මහ පාරට වැටිලා ඉන්නවා. කිසිම පූර්ව දැනුම්දීමක් කළේ නැහැ. මාසයකට කලින් හරි දැනුම් දුන්නා නම් අපි මොනවා හරි කරගන්න තිබුණා. දැන් හදිසියේ ඇවිත් අපේ ගෙවල් කඩා දැම්මා. මට වයස අවුරුදු 69යි. මගේ තාත්තා ඉපදුණෙත් මෙහෙමයි. මමත් ඉපදුණේ මෙහෙමයි. මේ වතුයායේම තමයි මම වැඩ කළේ.”
වතු නිවාස වල ජීවත් වු පවුල් 11 අතුරින් පවුල් 5 කට එම වතුයායේ තව දුරටත් ජීවත් වීමට වතු හිමිකාරීත්වය අවසර ලබා දී ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.
ක්‍රීඩා පිටියට තේ දමා ඇවිළුණු අර්බුදය
කඩා ඉවත් කිරීමට නියමිතව ඇති නිවාස හතරෙන් එක් නිවාසයක ජීවත් වන රවිචන්ද්‍රන් දයාළන් පවසන්නේ මලයහ තරුණයන් සහ තරුණියන් ක්‍රීඩා කළ ක්‍රීඩා පිටියක වතු හිමිකාරිත්වය විසින් තේ පැළ සිටුවීමෙන් පසුව මලයහ ජනතාව හා ඉඩම් හිමිකාරිය අතර මෙම ගැටලු සහගත තත්වය ආරම්භ වූ බවයි.
“පෞද්ගලික සමාගමක් මේ තේ වත්ත නඩත්තු කරගෙන ආවා. 2021 අවුරුද්දේදී මේ වත්ත කුමාරි දිසානායක කියන එක්කෙනා ගත්තට පස්සේ තමයි ප්‍රශ්නය පටන් ගත්තේ. මුලින් මෙහෙ පිට්ටනියක් තිබුණා. ඒකේ තේ පැළ හිටවන්න ගත්තා. ඊට පස්සේ පවුල් 11ක් ගොවිතැන් කළ ඉඩම්වලත් තේ පැළ හිටවන්න ගත්තා. ඒ ඉඩම් සේරම එකතු කළොතින් අක්කර 4ක් 5ක් විතර වෙයි.”
රවිචන්ද්‍රන් දයාළන් පවසන්නේ මේ සම්බන්ධයෙන් වතු හිමිකාරිත්වය විසින් පළමුව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු නොවු නමුත් 2021 වසරේදී ගැටලුව ආරම්භ වූ පසුව සිය පදිංචි භුමියේ අයිතිය ආරක්ෂා කරන ලෙස ඉල්ලා පීඩාවට පත් පවුල් විසින්ම බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළ බවයි.
පරම්පරා තුනක් තිස්සේ ජීවත් වන නිවාසවල තවදුරටත් පදිංචිව සිටීමට අවසර ලබා දෙන ලෙසත්, එළවළු වගා කටයුතුවල නිරත වීමට අවසර ලබා දෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා සිටි බව පෙන්වා දෙන රවිචන්ද්‍රන් දයාළන් වැඩි දුරැටත් කියා සිටියේ නඩුව නිසි පරිදි ඉදිරියට පවත්වාගෙන යාමට තමන්ට නොහැකි වූ බවයි.
“එහෙත් අපිට ඒ නඩුව හරියට කරගෙන යන්න බැරි වුණා. නීතිඥවරුන් හරියට අපිට උදව් කළේ නැහැ. එයාලාත් මේ නඩුව එයාලාට හරියට කරගෙන බැහැ කියලා ලිපි ටිකයි ෆයිල් ටිකයි අපිට ආයෙත් භාර දුන්නා. අපිටත් සල්ලි තිබුණේ නැහැ. මොනවා කරන්න ද කියලා හිතාගන්න බැරි වුණා.”
රුපියල් ලක්ෂ ගණන් වියදම් කළ නිවාස
කෙසේ වෙතත්, වතු හිමිකාරිනිය වන කුමාරි දිසානායක විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවේ තීන්දුව මත තමන්ට මේ වන විට නිවාස අහිමි වී ඇති බව රවිචන්ද්‍රන් දයාළන් වැඩි දුරටත් සදහන් කළේය.
“අපි නීතිවිරෝධී ලෙස පදිංචිව සිටින බවත්, ඉඩම තමන්ට අයත් බවත් සඳහන් කරමින් වතු හිමිකාරිනිය ගොනු කළ නඩුවේ තීන්දුව අනුවයි මෙය සිදුව තිබෙන්නේ. පසුගිය අප්‍රේල් මාසයේදී නඩුව අවසන් උනා. තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අපිට දැනුම් දුන්නේ නැහැ.”
අධිකරණ තීන්දුවට ගරු කරන බව අවධාරණය කරන රවිචන්ද්‍රන් දයාළන්, රජයෙන් ඉල්ලා සිටින්නේ ජීවත් වීමට නිවසක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින තමන් ඇතුළු පිරිසට නිවාස ඉදිකර දෙන ලෙසයි.
“අධිකරණ තීන්දුවට පිටින් ගිහින් අපට මුකුත් කරන්න බැහැ. මේ තැන් පෞද්ගලික සමාගමකට අයිති වෙන්න පුළුවන්. එහෙත් අපි පරම්පාර තුනක් ජීවත් වුණ ගෙවල් දැන් අපිට නැහැ. අපි කොහෙටද යන්නේ? ජීවත් වෙන්න තැනක් නැහැ. ජීවත් වෙන්න ගෙයක් හදලා දෙන එක ලංකා ආණ්ඩුවේ වගකීමක් නේද? අපිට ජීවත් වෙන්න ගෙයක් ඕනේ.”
ඉදිරියේදී කඩා ඉවත් කිරීමට නියමිත තමන් පදිංචිව සිටින නිවාසය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියනයකට වැඩි මුදලක් වැය කළ බව සඳහන් කරන රවිචන්ද්‍රන් දයාළන්, තම පවුල මෙන්ම අනෙකුත් පවුල්ද නිවාස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනක් වැය කර ඇති බවත් සදහන් කළේය.
“අපි ලක්ෂ 12ක් විතර වියදම් කරලා අපේ ගෙවල් අලුත් කරලා හැදුවා. අපි විතරක් නෙවෙයි. මෙහෙ ඉන්න ගොඩාක් අය ලක්ෂ ගණන් වියදම් කරලා ගෙවල් අලුත් කරලා හැදුවා. ඒකෙන් ගෙවල් දෙකක් තමයි කැඩුවේ.”
කෝවිලටත් බාධා: දේශපාලනඥයෝ නිහඬයි
වතුයායේ පිහිටි හින්දු කෝවිලේ පූජා වතාවත්වල නිරත වීමට පවා වතු කළමනාකාරීත්වය බාධා කරන බවද ඔහු සදහන් කරයි.
මෙම ගැටලුව ඇති වී සතියක් ගතවී ඇතත්, මේ දක්වා තමන් සමඟ දුරකථනයෙන් හෝ කතා කිරීමට කිසිදු මහජන නියෝජිතයකු ඉදිරිපත් වී නොමැති බවට ඔහු චෝදනා කළේය.
මේ අතර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන් තම ගම්මානයට ආසන්නයේ පිහිටි අතහැර දමන ලද පාසල් ගොඩනැගිල්ලක තමන්ට නවාතැන් ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවට පොරොන්දු වී ඇතත්, එම පාසල් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ කැලෑබද ප්‍රදේශයක බවත් ඔහු සඳහන් කරයි.
පීඩාවට පත් පවුල් දෙකක් මේ වන විට ඥාතීන්ගේ නිවාසවල තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර, ඉතිරි පවුල් හතර කඩා ඉවත් කිරීමට නියමිත නිවාසවල ඇති භාණ්ඩ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බව අප වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
උසාවි නියෝගයෙන් වතු නිවාස කඩයි - බදුල්ලේ මලයහ පවුල් කීපයක් අසරණයි
Awara
November 11, 2026 • 4:10 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පෞද්ගලික හිමිකාරිත්වයක් සහිත ඉඩමක පරම්පරා තුනක කාලයක් ජීවත් වු මලයහ දෙමළ පවුල් කිහිපයකට අධිකරණ නියෝගයක් මගින් හදිසියේම ඔවුන්ගේ නිවාස අහිමි කිරීම නිසා උන් හිටි තැන් අහිමි වීමෙන් එම ජනතාව දැඩි අසරණ තත්වයකට පත්ව සිටී.
- පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අධිකරණ නියෝගයක් හේතුවෙන් උන් හිටි තැන් අහිමිව සිටින්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බත්ගොඩ, අංක 6 වතුයායේ පරම්පරා තුනක් තිස්සේ ජීවත් වු මලයහ පවුල් 11 ක් අතුරින් පවුල් 6 කට අයත් පිරිසක් බවයි.
- තමන් ජීවත් වු නිවාස දෙකක් මේ වන විටත් කඩා ඉවත් කර තවත් නිවාස හතරක් කඩා ඉවත් කිරීමට නියමිත බව පෙන්වා දෙන ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ජීවත් වීමට නිවසක් ඉදිකර දෙන ලෙසයි.
- අක්කර 65ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත බත්ගොඩ අංක 6 වතුයාය පෞද්ගලික ඉඩමක් වන අතර වර්තමානයේ එහි හිමිකාරීත්වය දරන්නේ කුමාරි දිසානායක නමැත්තියකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


