වගකීම් පැහැරහරින රාජ්‍ය නිලධාරීන්ට ජාතික විගණන පනතින් සෘජු මූල්‍ය දඩ; ඉඩම් ලියාපදිංචිය මිලියන 10ක් දක්වා ඩිජිටල් කරමින් ලිපිගොනු ජාවාරම්කරුවන්ට වැට බඳී
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීම සඳහා, මෙරට මෙතෙක් පැවති බලගතුම රාජ්‍ය ආයතන, දේශපාලන අධිකාරිය සහ සමස්ත රාජ්‍ය අංශයේ විනිවිදභාවය පෙර නොඇසූ විරූ මට්ටමක දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙන "2026 රාජ්‍ය පාලන ක්‍රියාකාරී සැලැස්ම" (Governance Action Plan) ආණ්ඩුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් මුලින් යෝජනා කරන ලද පාලන ප්‍රතිසංස්කරණ සීමාවන්ගෙන් ද ඔබ්බට යමින්, රාජ්‍ය ව්‍යවසායන්, ඉඩම් පරිපාලනය සහ අධිකරණ පද්ධතියේ පවතින දුර්වලතා සෘජුවම ඉලක්ක කරමින් මෙම නව නීතිමය සහ පරිපාලනමය වෙනස්කම් හඳුන්වා දී ඇති බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු තහවුරු කරති.
දේශපාලන වරප්‍රසාද කප්පාදුව සහ මූල්‍ය වගවීම
රටේ පවතින මූල්‍ය ගැලපුම් කාලසීමාව තුළ දේශපාලනඥයන් භුක්ති විඳින වරප්‍රසාද පිළිබඳව ජනතාවගෙන් එල්ල වන දැඩි විවේචන සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව විශේෂ පියවර රැසක් ගෙන ඇත.
දේශපාලන පැන්ෂන් අහෝසිය:
දැනට තේරී පත්වන දේශපාලන ධුර දරන්නන් වෙනුවෙන් පවතින විශේෂිත දේශපාලන විශ්‍රාම වැටුප් නීති (Political pension laws) කිහිපයක් සහමුලින්ම අහෝසි කිරීමට සැලැස්මෙන් යෝජනා කර තිබේ.
දීමනා සහ කාර්ය මණ්ඩල සීමා:
අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් කෙරෙන නිල වාහන, මන්ත්‍රී දීමනා සහ පෞද්ගලිකව පත් කරගනු ලබන කාර්ය මණ්ඩල (Privately appointed staff) සඳහා ඉතා දැඩි සීමාවන් පැනවීමට නියමිතය.
රාජ්‍ය නිලධාරීන්ට මූල්‍ය දඩ:
ජාතික විගණන පනතට (National Audit Act) ගෙන එන නව සංශෝධන හරහා, තම ව්‍යවස්ථාපිත මූල්‍ය වගකීම් පැහැරහරින හෝ විගණන වාර්තා ඉදිරිපත් කිරීම හිතාමතාම මඟහරින රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සෘජුවම මූල්‍ය දඩ පැනවීමට විගණකාධිපතිවරයාට බලය පැවරේ.
PEPs විමර්ශන, ඩිජිටල්කරණය සහ අධිකරණ කඩිනම් කිරීම
ප්‍රභූ දූෂණවලට තිත:
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සංශෝධිත රාමුව යටතේ, මෙරට දේශපාලන බලපෑම් සහිත පුද්ගලයන් (Politically Exposed Persons) සහ වසර ගණනාවක් තිස්සේ යටගසා තිබූ මහා පරිමාණ දූෂණ නඩු කඩිනමින් විභාග කර දඬුවම් පැමිණවීම ප්‍රමුඛතම කාර්යය බවට පත් කර ඇත. නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම මෙහි අරමුණයි.
සැබෑ හිමිකාරිත්වය සහ ඉඩම් ජාලය:
බදු පැහැර හැරීම් සහ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු වැළැක්වීම සඳහා සමාගම්වල අවසාන පාලනය දරන සැබෑ පුද්ගලයන් කවුදැයි හෙළිදරව් කෙරෙන පොදු ලේඛනයක් (Public register of beneficial ownership) හඳුන්වා දෙනු ඇත. එසේම, වංචනික ඉඩම් ජාවාරම් වැළැක්වීම සඳහා දැනට මිලියන 2.5ක් වන ඩිජිටල් ඉඩම් ලියාපදිංචි කිරීමේ ප්‍රමාණය ඉඩම් කොටස් මිලියන 10ක් දක්වා පුළුල් කෙරේ.
අධිකරණයේ ලිපිගොනු පමාවට තිත:
නාගරික සහ ඉහළ අභියාචනාධිකරණ පද්ධතිය පුරා ඩිජිටල් නඩු කළමනාකරණ පද්ධති (Digital case management systems) ස්ථාපිත කිරීම හරහා, වසර ගණනාවක් තිස්සේ අධිකරණ පද්ධතිය තුළ නඩු ගොඩගැසීම (Judicial backlogs) වළක්වා නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගැනේ.
මෙම ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය තීරණය වන්නේ නීති සම්පාදනය කිරීමේ දින වකවානු මත නොව, කිසිදු දේශපාලන හෝ බාහිර බලපෑමකින් තොරව මෙම නීති එකලෙස ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන දක්වන කැපවීම මත පමණක් බව දේශපාලන සහ ආර්ථික විචාරකයෝ අවධාරණය කරති.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය
New Governance Blueprint Puts Powerful Institutions under Spotlight




