ආණ්ඩුව විසින් 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛණය යථාර්ථවාදී අයවැයක්

නොවන බව එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු එබව කියා සිටියේ, එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසරේ රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් රජයේ ආදායම් එකතු කරගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ බවයි.


අයවැය යථාර්ථවාදී නෑ. ගිය වසරේ රේගු, සුරාබදු, දේශීය ආදායම්, ආදායම් ඉලක්ක සපුරගෙන නෑ. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ගන්න බලන් ඉන්න ණය මුදල් බලාපොරොත්තු විදියට ම ලැබෙන්නෙ නැති බව ස්ථිරයි..!


“මේ අය වැය යථාර්ථවාදී නෑ. මේ අය වැය සිහින ලෝකයේ හදපු එකක්. ගිය අවුරුද්දේ අපිට කිව්වා බදු ආදායම් ලබා ගන්නවා කියලා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව එකතු වෙලා බිලියන 3130 ක්. නමුත් ආණ්ඩුවම කියන විදියට බදු ආදායම මිලියන 2600 යි. 20 % ක අඩුවක් එතන පෙන්නලා තියෙනවා. එහෙම සීයට විස්සක අඩුවක් පෙන්නලා තියෙද්දී 2024 ට යෝජනා කරනවා බිලියන 3800 ක් හොයන්න යනවයි කියලා මේ ආයතන තුන. ඉතින් කොහොමද අපි මේක විශ්වාස කරන්නේ?”

“එදිනෙදා භාණ්ඩ වලට ගහලා තියෙන වැට් බද්දෙන් 2023 එකතු කරන්න බලාපොරොත්තු වුණා බිලියන 908 ක්. හැබැයි එකතු වෙලා තියෙන්නේ 680 යි. 25% ක වැට් බදු අඩුවක්. මොකක්ද මේකෙන් පෙන්වලා තියෙන්නේ? ජනතාව කන්නේ බොන්නේ නැහැ. ඒකයි හේතුව. ජනතාවගේ ආර්ථිකයට අතමිට නැහැ. අතමිට තිබුණා නම් බඩු මිලදී ගන්නවා. බඩු මිලදී ගත්තා නම් වැට් බදු වැඩි වෙනවා. වැට් බදු තවත් 3% කින් වැඩි කරලා තියෙනවා.


ලබන වසරේ සිට තෙල් වලට, විදුලියටත් වැට් බදු එනවා. භාණ්ඩ තව 150 කට පමණ වැට් බදු එනවා. ඒ ආවයි කියලත් අපේක්ෂිත ආදායම් ලැබෙයි කියන්න බෑ. මොකද මහජනයා පරිභෝජනය අඩු කරගෙන යනවා. තුන් වේල කාපු මිනිහා දෙවේල කන, දෙවේල කාපු මිනිහා එක වේල කන තත්ත්වයට රට පත්වෙමින් යන නිසා. ඒ වගේම හරියටම එකතු වෙච්ච බද්දක් තියෙනවා. ඒක තමයි අර වෘත්තීයවේදීන්ට ගහපු බද්ද. එම බද්ද බලාපොරොත්තු වුණාටත් වැඩිය හොඳට කරලා තියෙනවා. බලාපොරොත්තු වුණේ බිලියන් 100 යි. එකතු වෙන්න යනවා 142 ක්.


මේකෙන් පේන්නේ අනෙක් බදු එකතු නොවෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ දත්ත නිවැරදිව සටහන් වන වේදිකාවක් නෑ. මොකද රජයේ සේවය හරි, පුද්ගලික සේවය හරි වැඩකරන වෘත්තීයවේදියාගේ වැටුප හරියටම අපිට දැනගන්න පුළුවන්. එතකොට ඔහුගේ ආදායම, වියදම හරියට දැනගන්න පුළුවන්. එවැනි දෙයක් රටේ අනිකුත් බදු උපයන්නන් අතරේ නැති බව තමයි පේන්නේ. එහෙම තිබුණා නම්, ඒ බදු ආදායමුත් අපිට නිසි විදිහට ලැබෙන්න ඕනේ.”

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ගැනීමේ සැළසුමෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඩොලර් මිලියන 1650 ක පමණ මුදල ඒ ආකාරයෙන් ම ලබා ගැනීමට නොහැකි වන බව තමන් ස්ථිර වශයෙන් ම පවසන බව රණවක මහතා ප්‍රකාශ කළේය.

“ණය ගැනීමේ සැලසුමෙන් බලාපොරොත්තු වෙනවා බිලියන 3900 ක් උපයන්න. මේකෙන් බිලියන 1650 ක් ප්‍රාග්ධන වියදම් හැටියට විදේශ ආධාර වලින් ලැබෙනවයි කියලා තියෙනවා. ඒක කොහෙන්ද ලැබෙන්නේ, කොහොමද ලැබෙන්නේ කියලා, කියලා නැහැ. නමුත් ලැබෙනවා කියලා තියෙනවා. ඊට අමතරව බලාපොරොත්තු වෙනවා, IMF එකේ වාරික කිහිපයකින් මිලියන 700 ක්. තව වාරික දෙකකින්, බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවෙන් මිලියන 500 ක්, බලාපොරොත්තු වෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 450 ක් බලාපොරොත්තු වෙනවා. තුනේම එකතුව ඩොලර් මිලියන 1650 යි. මේක ලැබෙයිද? තාම දෙවෙනි වාරිකය ලබා ගන්නවත් අපිට නොහැකි වුණා. ඒකට හේතු වුණේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න අපි අසමත් වීම. මේවා මෙහෙම වෙන්නේ නැහැ කියලා මම ස්ථිරව කියනවා. ස්ථිර කියනවා මේ මුදල් මේ විදිහට එන්නේ නෑ.”

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා,

“ලබන වසරේ ණය ප්‍රතිව්‍යුහගත කරනවාය කියන උපකල්පනය මත (ණයෙන් කොටසයි ගෙවන්නේ කියන උපකල්පනය මත) ණය ගෙවීමට වැය කරන්න යනවා බිලියන් 3919 ක්. ඒ වැදගත්ම දේ ආදායමට වඩා වැඩියි ණය ගෙවීම. බදු ආදායම 3820 යි. ණය ගෙවන්න තියෙනවා 3919 ක්. ඒ ණය ගෙවන්න තියෙන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කරනවාය, විදේශ ණය වලින් කොටසක් අපි ගෙවන්නේ නැත. හා දැනටමත් දේශීය ණය වලින් කොටසක් අපි ගෙවන්නේ නැත. ඊපීඑෆ්, ඊටීඑෆ් එකට, මහ බැංකුවට ගෙවන්නේ නැත. කියන පදනම මත ඉඳගෙන තමයි ඒක වෙලා තියෙන්නේ. අනික් වියදම තමයි, ප්‍රාග්ධන වියදම්. අද රටේ කොහෙවත් අපිට පේන්නේ නැහැ කිසිම දේක සංවර්ධන කටයුතු වෙනවා. කුඩා සංවර්ධන කටයුත්තක්වත් වෙනවා පේන්නෑ. ගිය අවුරුද්දේ බිලියන 1220 ක් ප්‍රාග්ධන වියදම් හැටියට නම් කළා. නමුත් අපි දන්න තරමින් නම් මේකෙන් බාගයක්වත් වියදම් වෙලා නෑ. මේ අවුරුද්දෙත් බිලියන 1208 ක් ප්‍රාග්ධන වියදම් හැටියට යොදලා තියෙනවා.”


“රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ගෙන ආවාම අර්බුදය ගැන දැනුම ඇති අය ඇහුවේ ලංකාව බංකොලොත් රටක් ද කියලා හිතෙනවද කියලා. මොකද එතරම්ම සිහින මාලිගා ගණනාවක් එතුමාගේ අයවැයේ අන්තර්ගත වෙලා තිබුණ නිසා.මෙවර අයවැයේ ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම රු. බි. 3907 යි. අපේක්ෂිත වියදම රු. බි. 7833 ක්.”


“ගිය අවුරුද්දේ අයවැය යෝජනා හැටියට මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාම යෝජනා 120 ක් පමණ ඉදිරිපත් කළා. මේ පිළිබඳව වෘත්තීය ආයතන කළ විමසීම් වලින් පෙනී ගිහින් තියෙන්නේ අර්ධ වශයෙන් හරි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 30 ක් පමණයි කියලා. එතකොට ඒ අනුව අ අර ගිය අවුරුද්දේ ඉදිරිපත් කරපු අයවැය යෝජනා වල පසු විපරමක් කරන් නැතුව තමයි මේ අවුරුද්දේ අයවැය යෝජනා ගෙනල්ලා තියෙන්නේ. මේ අවුරුද්දෙත් තියෙනවා අයවැය යෝජනා 125 කට ආසන්න ප්‍රමාණයක්. 2024 අපිට බලාගන්න පුළුවන් මේ 125 කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මොනවද මේ ක්ෂේත්‍රවල වෙන්නේ කියන එක.”

“ඊයේ පාර්ලිමේන්තුවට බෙදුවා රාජ්‍ය ව්‍යවසායයන්ගේ ප්‍රගතිය පිළිබඳ මූල්‍ය වාර්තාවක්. ඒකට අනුව ඒ ගණයේ රාජ්‍ය ආයතන 52 ක් ලාභ උපයලා තියෙනවා බිලියන 311 ක්. මේ ආයතන සියල්ලම පසුගිය වසරේ පාඩු ලබලා තියෙනවා බිලියන 708 ක්. අපිට හැමදාම කියන්නේ ‍රාජ්‍ය ආයතන පාඩුයි, පාඩුයි පාඩුයි කියලා. මේකෙන් වැදගත්ම දේ තමයි, පළවෙනි මාස අටේදී, තෙල් සංස්ථාව මෙහෙයුම් ලාභයක් අරන් තියෙනවා බිලියන 88 ක. ඒ කියන්නේ සෑම තෙල් ලීටරයකින්ම රු. 40 කට අධික මුදලක් තෙල් සංස්ථාවට ලාබයි. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය ලාභ උපයලා තියෙනවා බිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් පළවෙනි මාස 8 දී. ඒ අනුව ජල බිල වැඩි වුණේ කොහොමද කියන එක ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි. විදුලිබල මණ්ඩලය බිලියන 20 ක පාඩුවක් සටහන් වෙලා තියෙනවා කියලා තියෙනවා අගෝස්තු මාසය වෙනකොට. නමුත් අපි හැමෝම දන්නවා මේ සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවල ලංකා විදුලිබල මණ්ඩලය ඔය බිලියන 20 ට වැඩි ලාභයක් උපයලා තියෙන බව. ඒ අනුව විදුලි බිල කොහොමද වැඩිවෙලා තියෙන්නේ? ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් මේ පසුගිය මාස දහය ඇතුලත ගෙවල් වලට ගිහිල්ලා, ආයතන වලට ගිහිල්ලා, පන්සල් වලට ගිහිල්ලා විදුලිය කපන්න සිද්ධ වුණේ ඇයි කියන එක. කනකර උකස් කරලා විදුලි බිල ගෙවන තැනට පත්වුණේ ඇයි කියන එක සොයා බැලිය යුතුයි. ඒ අනුව මේ රාජ්‍ය ව්‍යවසායයන් පිළිබඳ ඒ වාර්තාවට සම්පූර්ණ පටහැනි දෙයක් තමයි විදුලි බිලෙන්, තෙල් මිලෙන් සහ ජල බිලෙන් පෙන්වන්නෙ.”

“මේවා නිකන් ඇස් බැන්දුම් පමණයි. මුලින්ම ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා ගිවිසුම් ගත විය යුතුයි අපේ ණය හිමියොත් එක්ක. ඒ කටයුත්ත නොකරන තාක්කල් මේවා ඔක්කොම සිහින පමණයි. රටේ අර්බුදය හා බලනකොට, ඒ අර්බුදයෙන් ගැලවී යාම සඳහා ප්‍රමාණවත් නොවනවා පමණක් නෙවෙයි, මහජනයා අතිශයින් මුලා කරන සුළුයි මේ දීලා තියෙන දේ. සතුටු වෙන්න පුළුවන් කාරණාවකට තියෙන්නේ. මේ රටේ වැඩකරන ජනතාවට රු. 10,000 කින් අප්‍රේල් මාසෙ ඉඳන් ඔක්තෝම්බර් මාසෙට වැටුප් වලට දීමනාවක් එකතු වීමත්, විශ්‍රාමිකයන්ට රු. 2500 ක් එකතු වීමත් පමණයි. ඒකත් ප්‍රමාණවත් නැහැ.”


ප්‍රශ්නය :
කොළඹ ටාගට් කරගත්ත අයවැයක් කියන කතාවකුත් කට්ටිය කිවුවා. ඔබ ඒක පිළිගන්නවද?


පිළිතුර:
“ඇත්ත වශයෙන්ම අපි යම් යම් පියවර ගන්න කොට ඒවා ජනප්‍රිය වෙන්න පුළුවන්, මහජනයා අත්පුඩි ගහන්න පුළුවන්, කිරිබත් කන්න පුළුවන්. නමුත් පස්සේ නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඔය අධිවේගී මාර්ගවල යනකොටත් මිනිස්සු කිරිබත් කෑවා. අනේ දැන් අපිට පුළුවන් හම්බන්තොටින් දොදොල් කන්න. මාතරින් කිරිහට්ටි, හරි ආඩම්බර වුණා. හැබැයි ඒ අධිවේගී මාර්ග වලට වියදම් කරපු ණය ගෙවා ගන්න බැරුව පෙට්‍රල්, පෝලිම්වල මැරෙන්න පටන් ගත්තට පස්සේ පැය දොළහ, දාහතර ලයිට් කැපෙන කොට තමයි තේරුනේ එදා කාපු කිරිබත්වල තිබිලා තියෙන්නේ ආසනික් කියලා.”
 
ප්‍රශ්නය:
දැන් මහල් නිවාස සම්බන්ධයෙන් සතුටුදායක තීරණ ගන්නවා. කොහොමද ඒකේ අදහස?


පිළිතුර:
“ඒ සම්බන්ධයෙන් විධිමත් සැලසුමකින් තොරව තමයි කොළඹ නගරයේ ක්‍රියාත්මක වුණේ. පීටර් කේනමන් යුගයේ තමයි යම් විධිමත් භාවයකින් ක්‍රියාත්මක වුණේ. ප්‍රේමදාස මහත්මයාගේ යුගය හුඟක් වෙලාවට ක්‍රියාත්මක වුණේ ඉඩම බෙදාදීලා, ඉඩමේ නිවාසයක් හදා ගැනීමයි, මහල් නිවාසයි කියන දෙකම. ඇත්තටම ඒකෙන් සිද්ධ වුණේ දෙවෙනි, තුන්වෙනි පරම්පරාවලට ඉඩම් නැතිවීම. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිණිය සහස්පුර සංකල්පය ගෙනාවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා මිහිඳුසෙන් පුර කියලා එකක් ගෙනාවා. ගෝඨාභය මහත්තයාගේ කාලේ අර URP කියලා ව්‍යාපෘතියක් දියත් කළා. අපිත් ඒ ව්‍යාපෘතිය දීර්ඝව ගෙවල් 2000 ක වැඩ නිම කලා. ඒවා කරන්න නම් ඒ ඒවාට අරමුදල් සම්පාදනය කරගන්න නම් පුද්ගලික අංශය මේ අවස්ථාවේ එන්නේ නැහැ. ඒ වගේ දේකින් අපි මේ ප්‍රශ්නය විසඳෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අනිත් පැත්තෙන් අපි අනුගමනය කරපු ක්‍රියාමාර්ගය තමයි, ඉඩම් වලින් මේ ජනයා නිදහස් කරලා මහල් නිවාස වලට දාලා, ඒ ඉඩම් විකුණලා, ඒ වියදම යම් ප්‍රමාණයක් ආවරණය කරගන්න උත්සාහ කිරීම. නමුත් විධිමත් සංස්කෘතික විප්ලවයක් ඒවයේ සිදු නොවෙන තාක්කල් අර බිම තිබිච්ච පැල්පත් ඉහළට නැගිච්ච පැල්පත් බවට පත්වීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ ගැන විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක තමයි අපි නිවසක් වෙනුවට ජීවිතයක් කියන සංකල්පය යටතේ ඒ කටයුත්ත කළේ. ඒ නිසා මේවායේ ඔය ගන්න අත්පුඩි තීරණවල ප්‍රතිඵල කාලෙකට පස්සේ අපට දැකබලාගන්න ලැබෙයි බොහොම කණගාටුදායක විදිහට.”
 
එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මාධ්‍ය හමුව අමතමින් මෙසේ පැවසිය.
 
xdt43කරු පරණවිතාන
 
“අපට පෙනෙනවා පාර්ලිමේන්තුවත් කාලගෝට්ටි වලට ගිහිල්ලා අයවැය විවාදය නිසරු එකක් බවට පත්වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ පුරාජේරු කතා, අපහාස, උපහාස අපි දන්නවා පහුගිය සතියෙත් පාර්ලිමේන්තුවේ ගත කරපු ආකාරය. මන්ත්‍රීවරු අතලොස්සක් පමණයි මේ ආර්ථික බර මැනවින් ආර්ථික විද්‍යානුකූලවත්, දේශපාලනිකවත් ග්‍රහණය කරගෙන තියෙන්නේ. අයවැය ලේඛනය යථාර්ථවාදීව තක්සේරු කරන්න පුළුවන් අය ඉන්නෙත් කිහිප දෙනයි.

මේ රටේ ආදායම් අහිමි වෙලා තියෙනවා. අහිමි වෙච්ච ආදායම් කොහොමද එකතු කරගන්නේ කොහොමද කියන එක සමහරවිට මේ අයවැය ලේඛනයටත් වඩා ඉදිරියට ගිහිල්ලා කල්පනා කරන්න පුළුවන් අය ඉන්නෙත් අතලොස්සයි. හැබැයි අවාසනාවකට ඒ මන්ත්‍රීවරුන්ට ඒ තරම්ම ලොකු වෙලාවක් හම්බවෙන්නේ නැහැ. ජනමාධ්‍යයෙනුත් එහෙම අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ලොකු වැදගත් සංවාදයක් කෙරෙන්ට ඕන වෙලාවක, මහජනයාත් එකතු කරගෙන මේ රටේ මේ අයවැය ලේඛනය වගේ දේවල් වලදී කෙරෙන්නේ නිසරු, බොල් පුරාජේරු, පුරසාරම් කතා සහිත සංවාදයක්.

අන්න ඒ නිසා, අපේ පක්ෂය තීන්දු කළා, මේ ආර්ථික කරුණ. ඒක තමයි අද රටේ දේශපාලන න්‍යාය පත්‍රය. ලබන අවුරුද්දේ මැතිවරණ වලත් මේක තමයි දේශපාලන න්‍යාය පත්‍රය වෙන්නේ. කොහොමද නැවත අපේ රට ධන උපායන රටක් බවට පත් කර ගන්නේ? දැන් මේ ආර්ථික කාරණය අපට වැදගත්. දැන් මේ වෙනුවෙන් මේ සංවාදය මහජනතාව අතරට ගෙනියන්ට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරලා පැය 24 ක් යන්නට කලින්ම පක්ෂය හැටියට අපේ මතය ප්‍රකාශ කරලා මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්න තීන්දු කළේ. මෙතනින් අපි නවතින්නේ නෑ. මේ වෙනුවෙන් සම්මන්ත්‍රණ, ක්‍රියාමාර්ග, මහජනයාත් එක්ක කරන සංවාද ගොඩක් අපි කරගෙන යනවා. අද දවලුත් එහෙම දෙයක් අපි සංවිධානය කරලා තිබෙනවා.”

එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මාධ්‍ය හමුව අමතමින් මෙසේ පැවසිය.
 
xdfge46වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක

“නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මං කැමතියි මේ නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාදීම ගැන අදහස් දක්වන්න. අපි නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්නකොට අපේ අමාත්‍යවරයා වශයෙන් හිටියේ මේ පාඨලී චම්පික රණවක මහත්මයා. රුපියල් බිලියන 57 ක් අපේ එම යුගයේදී මේ නිවාස ව්‍යාපෘති සඳහා වැය කරා. යම්කිසි ප්‍රමාණයක් අපිට රජය මගින් ලබා දුන්නා. නමුත් මේ කෝටි 5700 න් වැඩිම මුදලක් වැය කරලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගින්. එවකට ඒ කාලයේදී රු. මි. 3.5 ක් එක නිවසක් වැය වුණා. මෙයින් ඇස්තමේන්තු කරලා තිබුණේ මිලියන 2.5 ක් තමයි නිදහස් කරගත්ත ඉඩම් විකිණීම මගින් ලබාගන්න පුළුවන් ආදායම විදිහට හඳුනාගෙන තිබුණේ පර්ච් එකකින්. එතකොට එක මිලියනයක් ලබා ගැනීම සඳහා තමයි අර රුපියල් තුන්දහසක දීමනාවක් මාසිකව මේ නිවාස හිමියන්ගෙන් අය කළේ.

''මේ අයවැය යෝජනාවේ හැටියට මේ රුපියල් තුන්දාහක් ඉවත් කරලා, ඒක අය කරන්නෙත් නැතුව නිවස නොමිලේම ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ තුන්දාහ ගෙව්වෙත් නෑ බොහෝ දෙනෙක්. ඒක නිසා මේක තවදුරටත් බරක් වෙමින් තමයි තිබුණේ මේ නාගරික සංවර්ධන අධිකාරියට. ඒ නිසා මං හිතන්නේ මේ යෝජනාව මගින් ඒ බර සැහැල්ලු වෙලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා ඒක තුළින් යම්කිසි යහපත් දෙයකුත් සිද්ධ වෙලා තියෙනවා.''

'' මෙම ව්‍යාපෘතියේ ගරුත්වය ලැබිය යුත්තේ පාඨලී චම්පික රණවක මහත්මාට. ඔහු තමයි මේ සඳහා අපිට නායකත්වය දුන්නේ. හැබැයි අපි මතක තියා ගත යුතුයි මේ බිලියන එකක් එක නිවසකට, මිලියන එකක් බැගින්, බිලියන විශාල ප්‍රමාණයක් විස්සක් පමණ මේ ඉඩම් විකිණීම මගින් උපයා ගැනීමට සැලසුම් කරලා තිබුණා. ඒ නිසා මේ ඉඩම් ආරක්ෂා කරගැනීමේ වගකීම රජයට තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියටත් තියෙනවා. ඒ ඉඩම් රැකගත්තේ නැත්නම් ඒ බරත් දරන්න වෙන්නේ මේ රටේ ජනතාවට.

ඉතින් ඒ නිවාස හිමියන්ට සුභ පතන ගමන් අපි රජයෙන් ඉල්ලා සිටින්නට කැමතියි මේ වැය කරපු මුදල්වල ඒ ඉඩම් විකිණීම මගින් ලබාගත යුතුව තිබෙන ආදායම නාගරික සංවර්ධන අධිකාරියට ලබාදීම සඳහා කටයුතු කළ යුතුයි කියලා. දිවයින පුරා ම මේ වගේ නිවාස වලට ණය අරගෙන, ණය ගෙවා ගන්න අමාරු ජනතාව. ඉතින් නාගරික නිවාසවල ඉන්න ජනතාවට ඒ දෙන සහනය අනෙකුත් මේ දිවයින පුරා ම සිටින ජනතාවටත් දිව යුතුයි කියන එකයි අපේ හැඟීම. එහෙම නැත්නම් ඒක එක කොටසකට විතරක් විශේෂයක් කිරීම වගේ පෙනෙන්නට පුළුවන් මේ රටේ ජනතාවට දැනෙන්නට පුළුවන්.”
 
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්