ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇතුළු ජාත්‍යන්තර ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව සකස් කළ මෙම මාර්ග සිතියම මඟින් වාර්ෂික අපනයන වර්ධන වේගය 10% ඉක්මවා පවත්වා ගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, 2030 වසර වන විට භාණ්ඩ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 25ක් සහ සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 11ක් ලෙස සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීම රජයේ මූලික ඉලක්කය වී තිබේ.
වෙළඳපොළ සහ නිෂ්පාදන විවිධාංගීකරණය
ශ්‍රී ලංකාවේ වත්මන් අපනයනවලින් 50%කට ආසන්න ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙත පමණක් මුදාහැරේ. බටහිර වෙළෙඳපොළේ පවතින ආර්ථික මන්දගාමිත්වය සහ මැදපෙරදිග නොසන්සුන්තාව හේතුවෙන් නැව් ගාස්තු ඉහළ යාම හමුවේ ඇඟලුම් වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර දැනටමත් අභියෝගවලට මුහුණ දී සිටී.
මෙම අවදානම අවම කිරීම සඳහා නව උපායමාර්ගය යටතේ අප්‍රිකාව (පසුගිය වසරේ වර්ධනය 46%), මැදපෙරදිග (වර්ධනය 25%) සහ ආසියානු කලාපීය නැගී එන වෙළෙඳපොළවල් ඉලක්ක කර ඇත. මීට අමතරව, සාම්ප්‍රදායික තේ, රබර් සහ පොල් නිෂ්පාදනවලට අමතරව පහත ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.
* මෝටර් රථ උපාංග නිෂ්පාදනය
* විද්‍යුත් හා විද්‍යුත් උපකරණ (Electrical & Electronic)
* සකස් කළ ආහාර සහ පාන වර්ග
* ඛනිජ පාදක නිෂ්පාදන, කුළුබඩු, මැණික් හා ස්වර්ණාභරණ
පවතින සහන උපරිමයෙන් භාවිත කිරීම
ඉන්දියාව සහ පකිස්ථානය සමඟ පවතින ද්විපාර්ශ්වික ගිවිසුම්, SAFTA, APTA, යුරෝපා සංගමයේ GSP+ සහ බ්‍රිතාන්‍යය අලුතින් හඳුන්වා දුන් තීරුබදු සහන ක්‍රමවේදයන් (DCTS) හරහා ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට හිමිවන වාසි උපරිමයෙන් ලබාගැනීමට ද මෙහිදී සැලසුම් කර ඇත.
කලාපීය තරඟකාරිත්වය හමුවේ ශ්‍රී ලංකාවට ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව ලබා දීමට මෙම වටිනාකම් එකතු කළ (Value-added) අපනයන ක්‍රියාවලිය අතිශය තීරණාත්මක වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.




