අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්

පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ‍කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පිරිසක් විසින් යොමු කළ ලිපියක් සම්බන්ධයෙනි.

නීතිඥවරයෙකු වන බී. පී. එස්. එම්. පතිරත්න විසින් පෙත්සම ගොනුකර ඇත.

 එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම්, නීතිපති ඇතුළු 11 දෙනෙකු නම් කර තිබේ.

පසුගිය 14 වනදා කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය මෙන්ම ඔවුන්ගේ වෘත්තීය කාර්යක්ෂමතාවය පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක්  කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි පෙත්සම්කරු පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) (4) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ලිපිය අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබෙන බව දැනගන්නට ලැබී තිබෙන බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

 මේ තුළින් වගඋත්තරකරුවන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල කර ඇති බවත් අධිකරණය සතු ගෞරවය අවමානයට ලක් කර තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කරයි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 10 සහ 107 යන වගන්ති උල්ලංඝනය වන අතර අදාළ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් බලය බෙදීමේ න්‍යායට පටහැනි බවත් ඔහු පෙන්වා දෙයි.

එම ලිපිය තුළින් වගඋත්තරකරුවන් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති අතර නීතියේ ආධිපත්‍යය ද අභියෝගයට ලක් කර තිබෙන බවත් ඔහු චෝදනා කර තිබේ.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික තිබෙන 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාල ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැ ද සිටියි.

ඊට අමතරව අදාළ ලිපිය ඉවත් කර ගන්නා ලෙස කතානායකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්