බිලියන ගණනක ආයෝජනය රටට බරක් වෙයිද? ඵලදායී වෙයිද?
2055 වන විට මගීන් මිලියන 24කට ඉඩකඩ සලසන සැලසුමක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට; මූල්‍ය කළමනාකරණය සහ ප්‍රායෝගික ක්‍රියාත්මක වීම ගැන ආර්ථික විශ්ලේෂකයින් අවධානයෙන්.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සහ ආර්ථිකය නැවත හිස ඔසවමින් පවතින වටපිටාවක, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) කලාපීය ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ දීර්ඝකාලීන දැවැන්ත සැලසුමක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙමඟින් 2055 වසර වන විට වාර්ෂිකව මගීන් මිලියන 24.2කට සේවා සැපයීමට බලාපොරොත්තු වේ.
රජයේ මෙම තීරණය රටේ අනාගතය පිළිබඳ ධනාත්මක බලාපොරොත්තුවක් පෙන්නුම් කළද, මෙවැනි බිලියන ගණනක මහා පරිමාණ ව්‍යාපෘතියක් සඳහා අරමුදල් සොයා ගන්නේ කෙසේද සහ එයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර විවිධ මත පළවෙමින් පවතී.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති අයවැය පූර්ව සමාලෝචන රැස්වීමකදී වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා වී තිබේ. එහිදී කටුනායක ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ දැනට පවතින පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව මගී පර්යන්තයක් ඉදිකිරීම, ගුවන් යානා අංගන සහ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් වර්ධනය කිරීම මෙන්ම ගුවන්තොටුපළ සේවාවන් ඩිජිටල්කරණය කිරීම කඩිනම් කිරීමට තීරණය වී ඇත.
සංචාරක පිබිදීම සහ පවතින බාධා
2022 වසරේ ඇති වූ දැඩි ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඉතා වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින් පවතී. දැනට ලංකාවට විදේශ විනිමය ගලා එන ප්‍රධානතම මාර්ගයක් බවට සංචාරක ව්‍යාපාරය පත්ව ඇත. එහෙත්, සංචාරකයින් බහුලව පැමිණෙන කාලසීමාවන්හිදී (Peak Seasons) කටුනායක ගුවන්තොටුපළේ පවතින සීමිත ඉඩකඩ හේතුවෙන් දැඩි තදබදයක් සහ ප්‍රමාදයන් ඇති වන බව සංචාරක සංවිධාන දිගින් දිගටම පෙන්වා දුන් කරුණකි.
ගුවන් සේවා විශේෂඥයින් පවසන පරිදි, සිංගප්පූරුවේ චැංගි, ඩුබායි, මැලේසියාවේ ක්වාලාලම්පූර් හෝ ඉන්දියාවේ වේගයෙන් දියුණු වන නවීන ගුවන්තොටුපළවල් සමඟ තරඟ කිරීමට නම් කටුනායක යටිතල පහසුකම් කඩිනමින් නවීකරණය කළ යුතුය. ඩිජිටල් අමාත්‍යාංශය සමඟ එක්ව ගුවන්තොටුපළ මෙහෙයුම් ස්වයංක්‍රීය කිරීම හරහා ආගමන විගමන කටයුතු සහ ගමන් මලු හැසිරවීම වඩාත් වේගවත් කිරීමට ද සැලසුම් කර ඇත.
කලාපීය ගුවන්තොටුපළ සහ වරාය සංවර්ධනය
ගුවන් සේවා ක්ෂේත්‍රයට අමතරව රටේ සමස්ත ප්‍රවාහන හා සැපයුම් ජාලය (Logistics) ශක්තිමත් කිරීම සඳහා වෙනත් උපායමාර්ගික ව්‍යාපෘති කිහිපයක් ද මෙහිදී සමාලෝචනය කර තිබේ.
කොළඹ වරාය පුළුල් කිරීම සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය:
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ඉන්දීය රජයේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
ප්‍රාදේශීය ගුවන්තොටුපළ භාවිතය:
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ නවීකරණය කරන අතරතුර, හිඟුරක්ගොඩ වැනි ගුවන්තොටුපළවල් හරහා දේශීය මගී ප්‍රවාහන සේවා පුළුල් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා ගුවන් හමුදාවට සහ අදාළ අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
විද්වත් මතය සහ ඉදිරි අභියෝග
යටිතල පහසුකම් දියුණු කිරීම යනු හුදෙක් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම පමණක් නොවේ. විශාල හා නවීන ගුවන්තොටුපළක් මඟින් විදේශීය ආයෝජන ළඟා කර ගැනීමටත්, අපනයන ආර්ථිකයට අත්‍යවශ්‍ය වන ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් (Air Freight) වේගවත් කිරීමටත් හැකි වේ. එසේම, ගෝලීය ගුවන් සේවා සමාගම් ලංකාව වෙත වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට ද මෙය මඟ පාදයි.
කෙසේ වෙතත්, ආර්ථික සහ යටිතල පහසුකම් පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන්නේ ගුවන්තොටුපළවල් විශාල කළ පමණින්ම මගීන් හෝ ගුවන් යානා පැමිණීම ස්වයංක්‍රීයව සිදු නොවන බවයි. මෙවැනි දැවැන්ත ආයෝජනයක නියම ප්‍රතිඵල නෙළා ගැනීමට නම් රට තුළ ස්ථාවර ආර්ථික වර්ධනයක්, අඛණ්ඩ සහ ක්‍රමවත් සංචාරක ප්‍රවර්ධනයක්, දේශපාලන ස්ථාවරත්වයක් මෙන්ම ව්‍යාපෘති දූෂණයෙන් තොරව කාර්යක්ෂමව නිම කිරීම අත්‍යවශ්‍ය වේ.
මහජන මුදල් බිලියන ගණනින් වැය කරමින් ක්‍රියාත්මක කරන මෙම දීර්ඝකාලීන සැලසුම් රටට ඵලදායී ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දෙන්නේද යන්න තීරණය වන්නේ ඉදිරි වසර කිහිපය තුළ රජය මේවා ප්‍රායෝගිකව හසුරුවන ආකාරය මතය.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Sri Lanka Bets Big on Airport Expansion amid Tourism Revival




