හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල්

අමාත්‍ය රවී කරුණානායක පැවසිය.  

හිටපු අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ එබව කියා සිටියේ, කටුපොල් වගාකරුවන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා ඊයේ (10 ) දිනයේ මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එය සංවිධානය කර තිබුණේ 'හරිත දෙරණ' කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසිනි.

 කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බව එහිදී අනාවරණය විය.

 අපනයන භෝගයක් ලෙස දියුණු කළහැකි කටුපොල් වගාව යළි ස්ථාපිත කර දෙන ලෙස වගාකරුවන් හිටපු අමාත්‍යවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටියේය.

 තම ඉඩම්වල මෙන්ම රජයේ ඉඩම්වල කටුපොල් වගා කිරීමට අවසර ලබා දුන්නොත්, තේ - රබර් වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බවද ගොවීන් මෙහිදී අවධාරණය කර සිටියේය. අක්කරයක වගාවකින් මසකට රුපියල් 75,000ක ශුද්ධ ආදායමක් උපයා ගත හැකි බවද ගොවීන් මෙහිදී පෙන්වා දුන්නේය.

 ඇතැම් පුද්ගලයින්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක්කර ඇති බවට ඔහුන් චෝදනා කළේය.

මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ප්‍රධාන අපනයන බෝගයක් ලෙස මෙය ව්‍යාප්ත කර තිබෙන බව පැවසු කටුපොල් ගොවින්,  කටුපොල් වගාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීම මගින් රටට හොඳ ආදායමක් ලබාගත හැකි බව අවධාරණය කර සිටියේය.


Capture 11ජනාධිපති ගෝඨාභය කටුපොල් වගාව තහනම් කල නිවේදනය


''රටක් ඉදිරියට ගෙනියන්න නම් වාණිජකරණය කරන්න ඕනි''


මෙහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර සිටියේ, මේ සම්බන්ධයෙන් පවතින දුර්මත පසෙකලා, කටු පොල් වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් සමග සාකච්ඡා කර යළි මෙම වගාව සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ලබන ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන ලෙස කටුපොල් ගොවින් මෙහිදී රවී කරුණානායක ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඉදිරියේදී සියලු දෙනාගේ සහයෝගය ඇතිව රජයේ සහ මාධ්‍යයේ සහයද ලබාගෙන වාණිජ භෝගයක් ලෙස කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා බව රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා සහතික විය.


''දේශපාලන වේදිකාවේ වචන හරඹ වලින් රට ගොඩ නැගිය නොහැකියි''


මේ අතර රටේ පවතින දේශපාලන තත්ත්වයන් සහ කාලීන වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්න කිහිපයකටම ප්‍රතිචාර දැක්වූ රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා, දේශපාලන වේදිකාවේ සිදු කරන වචනවලින් පමණක් රට ගොඩනැගිය නොහැකි බව කියා සිටියේය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මෙසේද සඳහන් කළේය.

'' බංකොලොත් නැතිව තිබුණු රටක් ජනතාවගේ ඉල්ලීම පරිදි එය වෙනස් කරලා ලැබුණු ප්‍රතිවිපාකයට තමයි අපි මුහුණ දීල හිටියේ, ඊට පස්සේ යන මාර්ගය නැති වුණා ආදායම මදි වුණා වියදම වැඩි වුණා. රට බංකොලොත් උනා. බංකොලොත් කරපු කට්ටියට නෙමෙයි එයින් එළියට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් ඉතින් හැමකෙනාටම බැන බැන පරිපාලනයක් ගෙනයන්න බැරි කට්ටිය ඒකට උත්තර දෙන්න හදනවා. අභියෝගය බාරගත්ත වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේකට අවශ්‍ය උත්තර සපයාගෙන ඉදිරියට ගමන් කරමින් යන මොහොතක්, ජීවන වියදම ලේසි නෑ අපි නිකං බොරු කියලා වැඩක් නෑ. පුළුවන් තරම් ආදායමාර්ග ඇති කරලා ජන ජීවිත යථාවත් කරන්න තමයි අවශ්‍ය වන්නේ. මේක මේ දේශපාලන පොරපිටියේ නිකන් වචන වලින් රටක් හදන්න බෑ.''



''ඉදිරි මාස දෙක තුනේදී විදුලිබිලේ අඩුවක් සිදුවෙනවා''


'' මම විදුලි බල ඇමති ඉන්න කාලෙ ඉඳලා පුනර්ජනනීය බලශක්තිය වැඩ පිළිවෙල් වලට සියලු බදු අයින් කරලා තියෙන්නේ. කිසිම බද්දක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙන ප්‍රශ්නය තමයි විදුලි බල මණ්ඩලය. මොකද තාම විදුලි බල මණ්ඩලය මේකට හරි උත්තර දෙන්න අපොහොසත් වෙලා තියෙන්නේ, විදුලු බල මණ්ඩලය ගත්තහම 27,000ක් පමණ එතන ඉන්නවා. නමුත් එතනට අවශ්‍ය ප්‍රමාණය වන්නේ දහපාලොස්දාහක් පමණ කියලා ඔවුන්ම පිළිගන්නවා. ඒක නිසා අධික නිෂ්පාදන වියදම තුළින් අනිසි ලෙස විදුලි බිල වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය ආණ්ඩුව දැනගෙන එය නිසි මාර්ගයකට ගැනීම සඳහා මේ වන විට කටයුතු කරගෙන යනවා. ඉතින් මං හිතන විදිහට තව මාස දෙක තුනකින් විදුලි බිල අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරාවි.

ඇත්ත අමිහිරි වෙන්න පුළුවන් . හැබැයි ඒ අමිහිරි ඇතුලෙන්ම තමයි රටක් හරි මාර්ගයකට ගේන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ අභියෝගය බාරගෙන වැඩ කරන්න අපි කටයුතු කරනවා. මේ තත්ත්වය වෙනස් කරන්න තනි පුද්ගලයෙකුට පුළුවන්කමක් නැහැ, සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන සියලු පක්ෂවල සහයෝගය ඇතිව වගේම මාධ්‍යයත් මේකට දායකත්වය ලබා දිය යුතුයි. හැමදාම බැටකන්නේ වැඩ කරන පුද්ගලයින්. එනිසා අලුත් විදියට හිතන්න පුළුවන් පිරිසක් තමයි අපි නිර්මාණය කළ යුත්තේ.

පානදුර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක, හිටපු සංචාරක අමාත්‍යවරයකු වන අචල සුරංග ජාගොඩ යන ජවිපෙ හිටපු නායකයින් දෙදෙනා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


(සටහන - උෂාන්ත වර්ණකුමාර) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්