leader s

වසර 47ක් පැවති පැරණි PTA පනත අහෝසි කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන නව නෛතික රාමුවක්.


වෘත්තීය සමිති අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා ත්‍රස්තවාදී ගණයට නොවැටෙන බවට විශේෂ වගන්තියක්.  



දශක හතරකට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කර, ඒ වෙනුවට නව නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම සඳහා සකස් කරන ලද ''ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත'' (Protection of the State from Terrorism Bill) රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.  

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇත.  

නව නීතිය හඳුන්වා දීමේ මූලික අරමුණු  

නූතන ලෝකයේ මතුවන සංකීර්ණ ජාතික සහ අන්තර්ජාතික ආරක්ෂක අභියෝගවලට ගැළපෙන පරිදි මෙම නව නීතිය සකස් කර තිබේ. ශ්‍රී ලංකා භූමිය තුළ හෝ ඉන් බැහැරව සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම මෙන්ම, ශ්‍රී ලංකා භූමිය හෝ මෙරට පුරවැසියන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදා ගැනීම වැළැක්වීම මෙහි ප්‍රමුඛ අරමුණක් ලෙස දක්වා ඇත.  

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත්කළ විද්වත් කමිටුවක් විසින් මහජනතාව, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ අදහස් ලබා ගනිමින් මෙම කෙටුම්පත සකස් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.  

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ මානව හිමිකම් ආරක්ෂාව  

පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ සාමකාමී දේශපාලන ක්‍රියාකාරකම් මර්දනයට එය භාවිත කළ හැකි බවයි.  

නව කෙටුම්පත මඟින් එම කරුණට නෛතික පැහැදිලි කිරීමක් ලබා දී ඇත. ඒ අනුව, සාමකාමී විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, මාධ්‍යවේදය, අධ්‍යයන හා පර්යේෂණ කටයුතු, නෛතික නියෝජනයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් තනිව ගත් කල ත්‍රස්තවාදී වැරදි ලෙස නොසැලකෙන බවට පැහැදිලි වගන්ති ඇතුළත් කර තිබේ.  

අත්අඩංගුවට ගැනීම් සහ අධිකරණ අධීක්ෂණය  

නව පනත් කෙටුම්පතට අනුව සැකකරුවකු අත්අඩංගුවට ගත් විට ඒ පිළිබඳ හේතු ඔහුට දැනුම් දිය යුතු අතර, එම පවුලේ ළඟම ඥාතීන්ට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද ඒ පිළිබඳව දැනුම් දීම අනිවාර්ය වේ. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවකු පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතුය.  

එසේම රැඳවුම් නියෝග සමාලෝචනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන සමාලෝචන කමිටුවක් පිහිටුවීමට ද යෝජනා කර ඇත.  

ආර්ථික සහ ජාත්‍යන්තර සබඳතාවල වැදගත්කම  

මෙම නීතිමය ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට සෘජුව බලපාන්නකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍රයට අතිශය තීරණාත්මක වන යුරෝපා සංගමයේ GSP+ තීරුබදු සහනය අඛණ්ඩව ලබා ගැනීමට නම් මෙරට මානව හිමිකම් සහ ආරක්ෂක නීති ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල විය යුතුය. එමෙන්ම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට ද පැරණි නීතිය වෙනුවට නවීන නීති පද්ධතියක් හඳුන්වා දීම හේතු වනු ඇත.  

මෙම කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එහි ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීමේ සහ පාර්ලිමේන්තු විවාද පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ආරම්භ වනු ඇත.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්