*විනිසුරු විශ්‍රාම වයස වෙනස් කරන පනත් කෙටුම්පත් දෙක පිළිබඳ අවසන් ඡන්ද විමසීම හෙට
*ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට: තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කිරීමට අවසර
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළු ප්‍රතිපාදන අඩංගු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද (24) පාර්ලිමේන්තුවේදී ආරම්භ වේ.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම විවාදයෙන් අනතුරුව, පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වන අවසන් ඡන්ද විමසීම හෙට (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ නීතිමය පසුබිම
අදාළ පනත් කෙටුම්පත් දෙක පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පෙරේදා (22) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.
එම තීරණයට අනුව, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර බලයකින් පමණක් එය සම්මත කිරීමට හැකියාව පවතී. එමෙන්ම, මහාධිකරණ ඇතුළු සෙසු අධිකරණ විනිසුරුවරුන්ගේ වයස් සීමාවන්ට අදාළ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මේ අතර, රාජ්‍ය පරිපාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද නීතිපතිවරයාගේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මෙම පනත් කෙටුම්පත් සඳහා අනුමැතිය හිමිව ඇත.
පාර්ලිමේන්තුව තුළ අද ආරම්භ වන මෙම දෙදින විවාදය අතරතුර පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන තර්ක විතර්ක හමුවේ මැතිසබය දැඩි අවධානයට ලක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ ස්ථාවරය සහ නීති ක්ෂේත්‍රයේ මත
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් රඳවා ගැනීම අරමුණු කරගනිමින් මෙම සංශෝධන ගෙන එන බව රජය පෙන්වා දෙයි. ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට සහ පරිපාලනමය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අධිකරණ ධාරිතාව පුළුල් කිරීම මෙහි අපේක්ෂාව බව ද සඳහන් වේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු නීති ක්ෂේත්‍රයේ ඇතැම් පාර්ශ්ව මීට පෙර පෙන්වා දී තිබුණේ, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ පහසුකම් පුළුල් කිරීම වෙනුවට වයස් සීමාව පමණක් දීර්ඝ කිරීමෙන් පවතින ගැටලුවලට පූර්ණ විසඳුම් නොලැබෙන බවයි.
විපක්ෂයේ විරෝධතාව සහ මතභේද
මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් “ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ අද පෙරවරුවේ බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක් සංවිධානය කර තිබේ.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සර්වජන බලය ඇතුළු විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් හා වෘත්තීය සමිති කිහිපයක් ද මෙම උද්ඝෝෂණයට සහභාගී නොවීමට තීරණය කර තිබේ. විපක්ෂයේ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගැනීමේ ක්‍රියාවලියේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය’ ද මෙම විරෝධතාවට එක් නොවීමට පියවර ගෙන ඇති බව නිවේදනය කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේ ඊයේ (23 වැනිදා) පැවැති සාකච්ඡාවකදී ද මේ පිළිබඳව තීරණය කර ඇත.
සමගි ජන බලවේග විපක්ෂයේ සෙසු පක්ෂ සමග ඒකාබද්ධ වී ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහිවීම කඩාකප්පල් කිරීම ආණ්ඩුවේ සැලසුම සහ අවශ්‍යතාවක් වන බවත්, සමගි ජන බලවේග නායකත්වය මේ මොහොතේ ආණ්ඩුවේ එම වුවමනාව ඉටු කරමින් සිටින බවත්, විපක්ෂයේ එම දේශපාලන පක්ෂවල ස්ථාවරය වී තිබේ.
මෙම උද්ඝෝෂණය සඳහා සහභාගීවීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කල් තියා සූදානම් වී තිබියදී, සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙක් විසින් නායකත්වයේ අවශ්‍යතාව පරිදි කල්ලිවාදී ප්‍රකාශයක් කර ආණ්ඩුවේ මෙහෙයවීම මත විපක්ෂයේ පක්ෂවල සහභාගීත්වය ප්‍රතික්ෂේප කළ බව සෙසු පක්ෂ පවසයි.
අද දිනයේදී පොල්දූවේ පැවැත්වෙන 22වන සංශෝධනයට එරෙහි විරෝධතාව සංවිධාන කරන්නේ සමගි ජන බලවේගය වුවත් සියලුම පාර්ශ්වයන්ට ඊට ආරාධනා කොට ඇති බවත් පවසන සජබ ආසන සංවිධායක මහේෂ් සේනානායක, ඊට සුළු සෙනගක් රැගෙන පැමිණෙන අයට මමයි වීරයා සෙල්ලම කරන්නට ඉඩ නොදෙන බවත් සදහන් කර සිටියේය.







