නැගෙනහිර පළාතේ දෙමළ කිරි ගොවීන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වු

උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනෙකුට පොලීසිය බාධා පමුණුවා තිබේ.

එම ස්ථානයට පැමිණි මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලිස් නිලධාරීන් බලා සිටියදීම ද්වේශ සහගත අයුරින් දෙමළ ජනතා නියෝජිතයන්ට බැණ වදින අයුරු පළාත් බද මාධ්‍යවේදීන් විසින් වීඩියෝ ගත කර ඇත.

 
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට මඩකලපුව, මයිලත්තමඩු ප්‍රදේශයේ පොලීසිය විසින් මුර කපොල්ලක් අසල පොලිස් බාධක යොදා ජනතා නියෝජිතයන් දෙදෙනා එම ස්ථානයෙන් ඉදිරියට ගමන් කිරීමට අවහිර කර තිබේ.  
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ පොලිස් බාධාව අනුමත කොට නැති බව මන්ත්‍රීවරයා පවසයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී පොන්නම්බලම් සිය වාහනයේ හිඳිමින් මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ තමන් කරදියනාරු ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් අමතා මේ සම්බන්ධයෙන් විමසු විටදී එම ස්ථානයෙන් ඉදිරියට ගමන් කිරීමට දිය නොහැකි බව ඔහු ද පැවසු බවයි.
 
ඉන් අනතුරුව තමන් ජනාධිපති ලේකම්වරයාට කතා කළ බව කී මන්ත්‍රීවරයා තව දුරටත් සදහන් කළේ තමන් ජනතා නියෝජිතයකු බැවින් එම ස්ථානයෙන් තමන්ට ගමන් කිරීමට හැකි බව ජනාධිපති ලේකම් පැවසු බවයි.
 
ජනාධිපති ලේකම් විසින් සදහන් කළ කරුණු සම්බන්ධයෙන් තමන් කරදියනාරු ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් අවස්ථාවේ ජනාධිපති ලේකම් විසින් කරනු ලබන ලිඛිත දැනුම් දීමකින් තොරව තමන්ට එම ස්ථානය හරහා ගමන් කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි යැයි ස්ථානාධිපතිවරයා පැවසු බව දෙමළ ජනතා නියෝජිතයා වැඩි දුරටත් සදහන් කරයි.
 
 පොලීසිය සිදු කළ බාධා කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට කරුණු දක්වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මන්ත්‍රීවරයාට පරුෂ වචනයෙන් තර්ජනය කරන ආකාරය වීඩියෝ ගතව තිබේ.
"පර හැත්ත. එනවා ඉඩම් මනින්න දිවුලපතානේ. මේකා ඉඩම් ඇමතිද ? මේකා මොකෙක්ද? තෝ බැහැපිය වාහනෙන්. බැහැපන් වාහනෙන්. ඇයි ආවේ කියලා කියන්න," ආදී වශයෙන් සුමනරතන හිමියන් පවසනු දැකගන්නට ලැබේ.
 
පසුව දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
 
මයිලත්තමඩු, මාදවනෙයි කිරි ගොවීන්ගේ ගැටළු පිළිබදව වාර්තාකිරීම සදහා කොළඹ සිට මඩකලපුව බලා ගිය මානව හිමිකම් ක්‍රියාධරයකු ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටද සිංහල ගොවීන් ඉඩම් අත්පත්කරගෙන සිටින භුමියට දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි කරමින්, එම ප්‍රදේශයට ඇතුළු වීම වලක්වාලීමට නොවැම්බර් 9 වැනිදා මෙම ස්ථානයේදීම පොලීසිය සහ යුද හමුදාව ක්‍රියා කර තිබුනි.
 
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එම ස්ථානයෙන් ගමන් කිරීම සදහා පොලීසිය කිසිවකුට අවස්ථාව ලබා නොදෙන බවයි.
 

 දෙමළ කිරි ගොවීන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමි මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල්වල ජනතාව විසින් අත්පත්කරගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මාර්තු 7 වැනිදා පැමිණි අවස්ථාවේදී ද යුද හමුදාව බාධා පමුණුවා තිබුණි.
 
කිසිදු පොලිස් භටයකු නොමැතිව යුද හමුදාව සිවිල් කටයුතු වලට මැදිහත් වීම දැඩි ලෙස ප්‍රශ්න කරමින් මන්ත්‍රීවරයා තම ගමන ගොස් තිබුනි.
 
මයිලත්තමඩු, මාදවනෙයි පිහිටි තෘණ භුමිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින සිංහල ගොවීන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී සැප්තැම්බර්15 වැනි සිකුරාදා දෙමළ කිරි ගොවීන් ආරම්භ කළ විරෝධතාවයට මේ වන විට දින 92 ක් සම්පුර්ණ වී තිබේ.
 
මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් ප්‍රදේශයේ පවසන පරිදි එම කාලය තුලදී කිරි ගවයන් 150 ට වැඩි ප්‍රමාණයක් ඝාතනය කර ඇත.
 

 
 
P 1
P 3
P 4

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්