පාසල් සිසුවියන් සහ උසස් අධ්‍යාපනය හදාරණ තරුණියන් රැසක් අපයෝජනය කර එම අවස්ථා රූගත කර අන්තර්ජාලයට එක්කිරීමේ

සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකි.

15 හැවිරිදි පාසල් සිසුවියක් සහ ඇයගේ මව විසින් මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකාර සිසුන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු සමග අදාළ පාසල් සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යන කාලයේදී අදාළ සිසුවියගේ නිවස තුළදී අවස්ථා කිහිපයකදීම එම සිසුවා විසින් ඇය අපයෝජනය කර ඇති බව හෙළිවී තිබේ.

කෙටි කලකට පසුව එම ප්‍රේම සම්බන්ධය අත්හැර දමා ඇති අතර පසුව අනෙක් සිසුවා මෙම සිසුවිය වෙත කෙටි පණිවුඩ යොමුකර ඇති අතර සිසුවිය ඔහු සමග ද ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ.

එම සම්බන්ධය අතරතුරදී සිසුවිය මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙනගොස් ඇති අතර එහිදී තමන්ට යමක් පානය කිරීමට ලබාදුන් බවත් අනතුරුව සිදුවූ කිසිවක් මතක නොමැති බවත් එම සිසුවිය පොලීසිය වෙත පවසා ඇත.

එහිදී සැකකාර සිසුවා විසින් සිසුවිය නිරුවත් කර රූගත කර නැවත නැවත ඒවා පෙන්වා තර්ජනය කර සිසුවිය ලැගුම්හල් වෙත රැගෙන ගොස් අපයෝජනය කර ඇති බවද අනාවරණය වී තිබේ.

එලෙස රූගත කරන ලද දර්ශන සැකකාර සිසුවා විසින් අන්තර්ජාලයට හා මිතුරන් වෙත යොමුකර ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඒ සඳහා සිසුවියගේ පළමු පෙම්වතාගේ ද සහාය ලැබී ඇති බව සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂා කිරීම් සිදුකිරීමේදී එක් සිසුවෙකුගේ ජංගම දුරකථනයේ තිබී තවත් සිසුවියන් සහ තරුණියන් රැසක් සමග එලෙස රූගත කරන ලද අසභ්‍ය දර්ශන රැසක් සොයාගෙන ඇත.

එම සිසුවිය අපයෝජනයට ලක්ව ඇති බව අනාවරණය වී ඇති ලැගුම්හලේ හිමිකරු සහ එහි කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි මස 01 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

(adaderana.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image