මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුව පුරාවට

මෙරට ජන සමාජය තුළ කතාබහට ලක්වන ප්‍රබල මාතෘකාවක් වුයේ දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය සහ අපරාධ හේතුවෙන් තරුණ පරපුර ඊට ගොදුරුවීම සමාජ ව්‍යවසනයක් බවට පත්වෙනු ඇතැයි බොහෝ විද්වතුන් අදහස් පළ කිරීම හේතුවෙනි.

ඉහළ යන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ඇතැම් අවස්ථාවලදී නීතිය ආරක්ෂා කරන නිලධාරීන්ට දුරකථනයෙන් තර්ජනය කළ අවස්ථා සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වරක් ප්‍රසිද්ධියේ අදහස් පළකර සිටියේ මිට සති කිහිපයකට ඉහතදීය.

පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

මෙවැනි පසුබිමක් යටතේ රට තුළ ඉහළ යන මෙම අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම් මැඩලීම සඳහා පොලීසිය මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත්වීමෙන් දින කිහිපයකට පසුවය.

මෙම නව මෙහෙයුම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි "යුක්තිය" නමින් මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි.

dfse3පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි "යුක්තිය" නමින් මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි.


"කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ කිසිදු බලපෑමකට යටත් වෙන් නැහැ"

කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ බලපෑමකට පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර කිරීමට ඉඩ දෙන්නේ නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කළේය.

මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා ඒබව අවධාරණය කළේය.

“ත්‍රස්තවාදී යුද සමයේදී ජනතාව පොලිසිය, ත්‍රිවිධ හමුදාව සමග එක්ව සහයෝගයෙන් කටයුතු කළා. මේ අවස්ථාවේදීත් අප මුහුණ දී සිටින්නේ මුළු රටම වෙලාගෙන තිබෙන යුද්ධයකට සමාන අභියෝගයකටයි. කතාවට පමණක් සීමා නොවී, මේ වැඩපිළිවෙළ රට පුරාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. ඒ සෑම මෙහෙයුමකටම ජනතාවගේ තොරතුරු ලබාදීම අවශ්‍යයි. ලැබෙන සෑම තොරතුරක් පිළිබඳවම අප පරීක්ෂා කර බලනවා.නීතිය අකුරටම තදින් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා."

"මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන පිරිසගෙන්ද තම දරුවන්, පවුල පිළිබඳ සිතමින් මේ ව්‍යසනයට දායක නොවන ලෙස ඉල්ලීමක් කරනවා. මින් ඉදිරියට එවැනි ක්‍රියාකාරකම් සඳහා පොලිසියෙන් කිසිදු සමාවක් හිමිවන්නේ නැහැ. නීති විරෝධී ආයුධ සඟවාගෙන සිටින අය සම්බන්ධවද ක්‍රියාකරන්නේ ඒ ආකාරයෙන්මයි. පොලිසියට විරුද්ධව හෝ යම් අපරාධයකට එම අවි ආයුධ භාවිත කිරීමට පෙර පොලිසියටට තම ආයුධ භාවිත කිරීමට සිදුවෙනවා. ඒ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වනවා. තම දරුවන්ට සහෝදර සහෝදරියන්ට පවුලට ආදරේ සියලු දෙනාට මේ මෙහෙයුමට සහයෝගය දැක්වීමට එක් වන ලෙස ඉල්ලා සිටිනවා.”අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කළේය.

මහජන ආරක්ෂක ඇමතිගේ චෝදනාව සහ පිළිතුර

මේ අතර පසුගියදා පොලිස් නිලධාරින් වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දියත් කර තිබෙන මෙහෙයුම් වලට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් වලට යටවූ පිරිස් තමන්ට සහ වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව හඬ නගන බවයි.

"මට ගහනවා, පොලිස්පතිතුමාට ගහනවා. සමාජ මාධ්‍යයෙන් හැමදාම ගහනවා. මේ ඔක්කොම කුඩු සල්ලි. පාතාලයේ සහ කුඩු සල්ලි වලින් තමයි මේවා වෙන්නේ.''

“මම තමයි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න කියලා කිව්වේ. ඔහුව පොලිස්පති කරලා මගේ ගෙදර අරන් යන්න නෙමෙයි නේ.”

“ඔක්කොමලා දන්නවා සමහර ආගමික නායකයින් ඇතුළු හුගාක් නීතිඥවරුන්. පස්සේ බලන කොට මට තේරුණා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.”

“මම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න කියලා කියනකොට ඒකට විරුද්ධව හිටිය නිතිඥවරුන් තමයි මේ කුඩුකාරයින් වෙනුවෙන් රුපියල් මිලියන බිලියන ගණන් වලට උසාවි වලදී පෙනී ඉන්නේ.” අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

“මම නම් කියන්න කැමති නැහැ. නමුත් මේ මාධ්‍ය හමුවල ලොකුවට කතා කරන ඔය නීතිඥවරුන් තමයි අභියාචනාධිකරණයේ සහ කොටුවේ උසාවියේදී මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා වාර්තා වෙන්නේ." අමාත්‍යවරයා එහිදී පැවසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මොකද කියන්නේ ?

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කළ මෙම චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සේවාලාභියෙකු වෙනුවෙන් පෙනී සිටීමේ වෘත්තීමය අයිතිය නීතිඥවරුන්ට පවතින බවයි.

"සේවාලාභියෙකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය වෘත්තීය අයිතියක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අදාළ අමාත්‍යවරයාට මතක් කර දීමට කැමැත්තෙමු.” යැයි නිවේදනයේ දැක්වෙයි.

නීතියෙන් ආරක්‍ෂා කර තිබෙන එයට එරෙහිව එල්ල වන ඕනෑම බලපෑමක් පොදුවේ වෘත්තියට එල්ල කරන ප්‍රහාරයක්" බව නීතිඥ සංගමය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එමෙන්ම සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවත්, ඔවුන්ගේ නීතිඥයෙකු විසින් නියෝජනය කිරීමට අයිතියක් ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13(3) ව්‍යවස්ථාවේ නෛතික නියෝජනය සඳහා ඇති අයිතිය විශේෂයෙන් සහතික කර තිබෙන බවද නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙක් වැරදිකරුවන් බවට නම් කරමින් ඉකුත් දෙසැම්බර් 14 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් ද නිතිඥ සංගමය සිය නිවේදනයෙන් කරුණු දක්වා ඇත.

මූලික අයිතිවාසිකම් හෝ නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ වූ බවට චෝදනාවක් ඇත්නම් එවැනි නිලධාරින් පොලිස්පති ධුරයට පත් නොකළ යුතු යැයි නීතිඥ සංගමය එම නිවේදනයේ අවධාරණය කර ඇත.

පොලිස්පතිවරයා සහ අනෙකුත් සියලුම පත්වීම් පත් මහජන විශ්වාසය තහවුරු වන පරිදි විනිවිද භාවයකින් යුතුව සිදු කරන ලෙසට රජයේ නීතිඥ සංගමය විසින් සිය නිවේදනයේ වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

kjcveo

සැකකරුවන් 6,500ක් අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ  (දෙසැම්බර් මස 20 වෙනිදා) දිනය දක්වා නිකුත් කර ඇති තොරතුරු අනුව මෙම විශේෂ මෙහෙයුම මේ දක්වා ක්‍රියාත්මක කළ කාලය තුළ සැකකරුවන් 6,583ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 187 දෙනෙකු රැඳවුම් නියෝග යටතේද, තවත් සැකකරුවන් 543 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා ද යොමු කර තිබෙන බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

xbtryeමෙම විශේෂ මෙහෙයුම මේ දක්වා ක්‍රියාත්මක කළ කාලය තුළ සැකකරුවන් 6,583ක් අත්අඩංගුවට ගෙන තිබේ.

“නව මෙහෙයුමේ සැලසුම මේකයි”

පොලිස් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා ඇති මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කොට ඊට සම්බන්ධ සංවිධානත්මක අපරාධ ජාලය බිඳ දැමීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

"මේ යුක්තිය මෙහෙයුම පසුගිය දෙසැම්බර් 17 වෙනිදා පටන් ගත්තා. මුළු පොලිස් දෙපාර්තමේන්තුවම පිරිස් බලය මේකට යොදවලා මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කරන එකයි අපේ සැලසුම. නමුත් මේ මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට කරගෙන යන එකක්."

"මේ මත්ද්‍රව්‍ය ජාලය ඔවුන්ගේ පෙර වැරදි එක්ක අප අඳුන ගත්ත පුද්ගලයින් පිරිසක් ඉන්නවා. ඔවුන් තාම ඒ ක්‍රියාවලියේ යෙදී ඉන්නවා. අපි ඔවුන්ව තමයි ඉලක්ක කර තියෙන්නේ. ඒ ජාලය බිඳ දමන්න වගේම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙලා ඉන්න පිරිස් පුනුරුත්ථාපනය කරන එකයි මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දේ කරද්දී සංවිධානත්මක අපරාධකරුවන් ඉබේම කොටු කර ගන්න හැකියාව ලැබෙනවා."

"එතැනින් එහාට පවතින තත්ත්වය පාලනය කර ගත්තම අපිට හැකි වෙනවා. අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ගෙන් ලැබෙන තොරතුරු පදනම්ව ඉදිරි මෙහෙයුම් කටයුතු කරන්න." ඔහු පැවසුවේය.

මෙහෙයුමේ වැඩිම අවදානය යොමු වූ පළාත් මොනවාද ?

යුක්තිය මෙහෙයුමේදී වැඩි අවදානයක් යොමු වී ඇති පළාත් සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මෙසේ අදහස් පළකර සිටියේය.

"මේ මෙහෙයුම ලංකාව පුරාම සිද්ධ වෙනවා. නමුත් ඒකේදී වැඩි අවදානයක් යොමු කරනවා බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලට. අනිත් පළාත් වලටත් අපේ මෙහෙයුම් කරනවා. සමහර පළාත් තිබෙනවා කසිප්පු වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැඩියෙන් තිබෙන ස්ථාන. ඒ වගේම උතුරු පළාතේ ගංජා වැනි මත්ද්‍රව්‍ය වැඩි. මේ වගේ අංශ ඔස්සේ අපි මුලික අවදානය යොමු කර තිබෙනවා" ඔහු කියා සිටියේය.

එමෙන්ම මෙම මෙහෙයුම මගින් සතුටුදායක ප්‍රතිඵල ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

" මේ මෙහෙයුම ආරම්භ කරලා දැනට දවස් තුනක්. එතැනදී සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගන්න වගේම සෑහෙන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් භාරයට ගන්න පොලිසිය සමත්වෙලා තිබෙනවා. ඒ වගේම අපි හඳුනාගෙන සිටි සැකකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් අත්අඩංගුට ගන්න ලැබුණා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් පුනුරුත්ථාපනයට ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් සැකකරුවන්ට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීම සිදුකර තිබෙනවා."

"මේ මෙහෙයුමේදී අනාවරණය වුනු නීතිවිරෝධී දේපළ සම්බන්ධව වෙනම විමර්ශනයක් සිදුකරගෙන යනවා මේ වෙද්දී. ඒ වගේම මේ මෙහෙයුමට ලැබෙන මහජන ප්‍රතිචාරය ගොඩක් හොඳයි. අපි දුරකථන අංක 46ක් ලබා දුන්නා. ඒ දුරකථන වලට දැන් දැන් ලැබෙන තොරතුරු ධනාත්මකයි. මහජනතාව විශ්වාස කරලා අපිට තොරතුරු දෙන්න කටයුතු කරනවා."

“අපි මාධ්‍යට පෙන්වන්නේ නැහැ මෙයා තමයි සැකකරු කියලා”

දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම මාධ්‍ය මගින් ප්‍රචාරණය වීම හරහා අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්න පෙර ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිවීම නිසා එම පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක් පැන නොනගින්නේදැයි මෙහිදී බීබීසී සිංහල විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගෙන් කරුණු විමසීමක් සිදුකරන ලදී.

එලෙස නගන ලද පැනයට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි,

"එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ සැකකරුවෙක් නේ. එතකොට අපි අත්අඩංගුවට ගන්නා පුද්ගලයා කවුද, එයාගේ සැකකාරයෙක් විදිහට ගන්නේ කියන එක ඕන කෙනෙක් දන්නවා. වරදකරුවෙක් කරන්නේ අධිකරණයෙන්. ඒක නීතියේ පැහැදිලිව තියෙනවා. අපි හැම තිස්සෙම අත්අඩංගුවට ගන්නේ වරදකාරයෙක් නෙමෙයි සැකකරුවෙක්. එතකොට නීතියත් දන්නවා මහජනතාවත් දන්නවා. "

"අපි සැකකාරයා කියන පුද්ගලයාව පෙන්වන්නේ නැහැ ඇත්තටම. එකෙන් පුද්ගලිකව ඔවුන්ට හානිකරන චේතනාවක් අපිට නැහැ. අපි යම්කිසි හඳුනා ගැනීමකින් පස්සේ තමයි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගන්නේ. සැකකරුවෙක්ව අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා. එහෙම කිරීමෙන් ගොඩක් අපරාධ ඇතුළු දේවල් අනාවරණය වෙලා තියෙනවා. නිලධාරියාගේ සැකකිරීම ගොඩක් වෙලාවට හරි ගිහින් තියෙනවා."

"මෙහෙයුම් වලදී ගොඩක් වෙලාවට අපේ (පොලිසියේ) කැමරා තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඇතැම් අවස්ථා වලදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපි මාධ්‍ය දැනුවත් කරනවා මෙහෙම මෙහෙයුමක් සිදුකර තිබෙනවා කියා අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. නමුත් වැටලීම්වලදී මාධ්‍යට තොරතුරු ලැබිලා එතැනට එනවා. ඔවුන් ඒ ගැන අවදානයෙන් ඉන්නවා. එහෙම එන එක අපිට වළක්වන්න බැහැ. ඒ ආවම එතැනදී ඔවුන් මෙහෙයුමේ සිටින නිලධාරින් ගෙන් තොරතුරැ ලබාගන්න වෙලාවල් තියෙනවා. නමුත් අපි සැකකරුවන් අනාවරණයක් කිරීම සිදුකරන්නේ නැහැ. නමුත් අහම්බයෙන් මාධ්‍ය වලින් ඔවුන්ව පෙන්නුවත් අපි මාධ්‍යයට කියන්න යන්නේ නැහැ මෙයා තමයි සැකකරු කියලා." ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් මීට පෙර මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකුට කෲර ලෙස වද හිංසා කිරීම සම්බන්ධයෙන් වත්මන් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේවන විට තීන්දු කරනු ලැබ තිබේ.

සැකකරු අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා ද ?

යම් සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම විනා අත්අඩංගුවට ගනු ලබන සැකකරුවෙකු වැරදිකරුවෙකු කිරීමට මාධ්‍යය කටයුතු නොකළ යුතු බව නීතිඥ භවානි ෆොන්සේකා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ පොලිසිය විසින් මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පිළිබඳ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම පිළිබඳව මානව හිමිකම් ක්‍රියාකාරිනියක් මෙන්ම නීතිඥවරියක් ලෙස කළ අදහස් විමසීමේදීය.

"අත්අඩංගුවට ගනු ලබන ඕනෑම සැකකරුවෙකු අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමෙන් පසුවයි තීරණය වෙන්නේ ඔහු වැරදිකරුවෙකු ද නැද්ද යන්න එක. ඒක අධිකරණ ක්‍රියාවලියක්. මාධ්‍යට හැකියාවක් නැහැ සැකකරුවෙකුව වැරදිකරුවෙක් කරන්න. "

"අපි මේ වගේ අවස්ථාවන් පසුගියන් කොවිඩ් වසංගත සමයේදී දැක්කා. නිරෝධායනය කියලා මාධ්‍ය ගෙවල්වලට යනවා. ඒක සිදුනොකළ යුත්තක්. මෙතන නීති පැනවීමෙන් මාධ්‍ය පාලනය කිරීමක් කරන්න බැහැ. නමුත් සෑම මාධ්‍යවේදියෙකුම තොරතුරු වාර්තාකරණය කිරිමේදී අනුගමනය කරන්න අවශ්‍ය ආචාර ධර්ම තියෙනවා. ඒ අනුව කටයුතු කළාම මේ ගැටලුව ඇතිවෙන්නේ නැහැ." ඇය කියා සිටියාය.

මෙතෙක් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් මොනවාද ?

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා පොලීසිය අවස්ථා රැසකදී මෙවන් මෙහෙයුම් දියත් කළ බවට ඉතිහාසය සාක්ෂි සපයනු ලබයි.

2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු බලයට පත්වන එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ "මතට තිත" වැඩසටහන යටතේ පොලිසිය විසින් "ඔපරේෂන් ක්ලීනප්‍" නමින් මෙහෙයුමක් දියත් කරනු ලැබිය.

ඉන් පසුව 2015 වසරේදී බලයට පත්වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ පාලන සමයේදී මුහුදු මාර්ගයෙන් රැගෙන ආ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවස්ථා ගණනාවකදී අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව කටයුතු කරන ලදී.

මෙම මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමිව විදෙස් ගතව සිටි ඇතැම් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන, මාකඳුරේ මධුෂ් වැනි සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට ආරක්ෂක සමත් විය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ ජාලය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමන්ගේ ජීවිතයට වුවද හානි වීමේ අවදානමක් පවතින බව වරක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා සිටියේය.

(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image