රටේ ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මානව හිමිකම් වලට බාධා එල්ල වන පරිදි රජය විසින් ඉදිරිපත් කර තිබෙන

මර්දනකාරී පනත් දෙකකට විරෝධය පාමින් නැගෙනහිර පළාතේ දී විරෝධයක් දියත් කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ජනවාරි 22 වැනි සදුදා මඩකලපුව ගාන්ධි උද්‍යානය අසලදී ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් උද්ඝෝෂණයක් දියත් කළ බවයි.

“ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමයි, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ පවතින මානව හිමිකම් කඩ කරමින් ක්‍රියා නොකරනු, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සහ රැස්වීමේ අයිතිය තහවුරු කරනු” ආදී සටන් පාඨ පෙරටු කරගනිමින් සිවිල් සංවිධාන ක්‍රියාධරයන් කල්අඩි පාලම අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනින් මඩකලපුව ගාන්ධි උද්‍යානය තෙක් පැමිණ එහිදී විරෝධයක් දියත් කර තිබුනි.

එම අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

විරෝධතාවයෙන් පසු පැවැත්වීමට සංවිධානය කර තිබූ එක්දින උපවාසයක් තහනම් කිරීමට පොලීසිය ක්‍රියා කළ බව නැගෙනහිර සංවර්ධන සංගමයේ අධ්‍යක්ෂ බුහාරි මොහොමඩ් පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.




ජාත්‍යන්තර විරෝධය

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට පසුගිය සමයේ දේශිය හා විදේශිය වශයෙන් විරෝධතා රැසක්ම එල්ල වී තිබුනි.


යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත වහාම සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කර තිබු අතර පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ශ්‍රී ලංකා ආණ්ඩුව යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත පිළිබඳව ඉතා බැරෑරුම්ව අවධානය යොමු කළ යුතු බව එහි සදහන්ව තිබේ.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් වන නමුත්, මෙම යෝජිත නීතිය මගින් අතීතයේ සිට පැවති මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමේ අවදානමක් ඇති බව ද එමගින් අවධාරණය කර තිබුනි.

සාමූහිකව පරාජය කිරීම

මේ සතිය තුළ සම්මත කරගැනීමට සැලසුම්කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති "ත්‍රස්ත විරෝධී" පනත ඇතුළු මහජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සාමූහිකව පරාජය කිරීමට එක්වන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති, මානව හිමිකම් සංවිධාන, සිවිල් සංවිධාන සහ මාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයන් විශාල පිරිසක් ඒකාබද්ධව පසුගියදා නිවේදනයක්ද නිකුත් කර තිබුනි.


දහතුන් වසකරට ඉහත දී පුද්ගලයකුට ලිංගික හිංසන ඇතුළු වධ බන්ධන සිදු කිරීම සහ ඒ වෙනුවෙන් නිලධාරීන්ට අණ ලබා දීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදි කරුවෙකු වු වැඩ බලන පොලිස්පති එම තනතුරෙන් ඉවත් නොකර ජනාධිපතිවරයා ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන ආකාරය සම්බන්ධයෙන්ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
"වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී තිබූ කෲර වධ හිංසා චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබියදී ඔහු තනතුරෙන් ඉවත් නොකොට තවදුරටත් තනතුරේ තබාගැනීම මගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේද ජනතා පරමාධිපත්‍යයේ මූලික කුළුණක් වන අධිකරණය නොතකා හරිමින් සහ එය හෑල්ලුවට ලක් කරමින් ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීමට ඔවුන් තුළ පවත්නා අභිලාශයයි."

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය ජනවාරි 22 වැනිදා හිමි ව තිබේ.

මේ අනුව ජනවාරි 23 වැනි අගහරුවාදා මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image