මුදල් මණ්ඩලය දිගින් දිගටම ප්‍රතිපත්ති පොළී අනුපාතික පහත දැමීමේ තීරණයන් ගෙන තිබෙන

වාතාවරණයක් යටතේ වහාම ගනුදෙනු කරුවන් බැංකු වලින් ලබාගෙන තිබෙන පොළිය අඩුවිය යුතු බවත් , එලෙස බැංකු පොළී අනුපාත පහත දමන්නේ නැති ආයතන වලින් දැනටමත් මහ බැංකුව විසින් නිදහසට කරුණු විමසා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  ප්‍රකාශ කළේය.

ඉදිරියේදී ලබා ගන්නා ණය පහසුකම්වල පමණක් නොව දැනට ලබාගෙන ඇති ණය පහසුකම් වලද පොළී අනුපාත අඩු කිරීමට බැංකු වලට සිදුවනු ඇතැයි  මහ බැංකුවේ අධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (23) පැවැති මුදල් ප්‍රතිපත්ති දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව පැවසීය.


මේ වන විට පෞද්ගලික අංශය විසින් බැංකු වලින් ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහල ගොස් ඇත. පසුගිය වසරේ මුල් හා දෙවැනි කාර්තුව ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තද වසර අවසන් කාර්තු දෙකෙහි ධන අගයක් ගෙන තිබීම සතුටු දායක තත්ත්වයක් බවද අධිපතිවරයා කීය. එලෙසම පවත්වා ගනිමින් මේ වසරේ ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයිද අධිපතිවරයා අපේක්ෂා පළ කළේය.

 

ආර්ථිකයේ පිබිදීමකට මුල පිරීමක් 

පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීම් ඉහළ යාම පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ පිබිදීමකට මුල පිරීමක් වේ. ඒ අනුව නව කෘෂි, කර්මාන්ත හා සේවා වල වර්ධනයක් සිදුවනු ඇත. මෙම ණය පහසුකම් ලබා ගැනීමේදී ඉදිරියේදී පොළී අනුපාත අඩුවනු ඇත. දැනට ලබාගෙන ඇති ණය සඳහා වන ඉහළ පොළී අනුපාතද නුදුරේදී පහත හෙළීමට බැංකු පද්ධතිය කටයුතු කරනු ඇතැයි අධිපතිවරයා අපේක්ෂා කරයි.


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (22) දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය.


ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.


නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පීඩන ඇති කළ හැකි බදුකරණයේ සහ සැපයුම් අංශයේ සාධකවල මෑත කාලීන ප්‍රවණතාවන්හි බලපෑම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය.

 කෙසේ වෙතත්, එම මෑත කාලීන ප්‍රවණතාවල බලපෑම මගින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය.

තවද, පෙර ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධිමිල පහළ යෑම හේතුවෙන් වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා ඇති අවකාශය පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය.

 වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිලාභ මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර හා පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස හා කඩිනමින් ලබා දිය යුතු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.  

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනී, නියෝජ්‍ය අධිපති, ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ඇතුලු උසස් නිලධාරීන් සහභාගී වී සිටියහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්