මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක්

රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට තිබේ.

රජය වෙත බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සංජය මහවත්ත ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් (ජනවාරි 26 වැනිදා) ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් තුළින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

පෙත්සමේ සඳහන් වන ආකාරයට බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් මොනවාද?

අදාළ පෙත්සමේ සඳහන් වන ආකාරයට රජය වෙත හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් නම් කර තිබේ.

එම මත්පැන් නිෂ්පාදන සමාගම් වන්නේ,
1. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම
2. වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
3. ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම
4. මැක්ලම් බෲවිං සමාගම
5. කළුතර ඩිස්ටිලරීස් සමාගම
6. ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පුද්ගලික සමාගම
7. සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
8. රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම
9. හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම
10. රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
 
වගඋත්තරකරුවන් කවුද?
 
නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විගණකාධිපතිවරයා සහ හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම් දහයක්ද නම් කර තිබේ.

"මත්පැන් නිෂ්පාදන සඳහා රජය විසින් පනවනු ලබන සුරා බදු එම සමාගම් වලින් නිසියාකාරව නොගෙවීම හේතුවෙන් රාජ්‍ය ආදායම පහත වැටීමට හේතු වී තිබෙනවා. මෙසේ මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පැහැර හරිනු ලබන බදු මුදල් අයකර ගැනීම අතපසුවීම නිසා එය ජාතික ආර්ථිකයට ද සෘජු ලෙස බලපා තිබෙනවා. 2022 වසරේ ආර්ථිකයට ලැබිය යුතු සමස්ත බදු ආදායමෙන් බිලියන 101 ක් අහිමිවී ගොස් තිබෙනවා. ඒ අතරින් බිලියන 26 ක් සුරා බදු ආදායම් බවත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමට අනුව 2023 වසරේ මුල් කාර්තුව තුළ බදු ආදායම් වශයෙන් රුපියල් බිලියන 650 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබුණා. එහෙත් එම කාල සීමාව තුළ රජයට උපයාගත හැකි වූයේ රුපියල් බිලියන 578 ක් පමණයි. රජය විසින් බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා සහ නිසි යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් මෙම බරපතල තත්ත්වය උද්ගත වී තිබෙනවා." යනුවෙන් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

xzdfsdfe
 
ගෙවීම පැහැර හැර ඇති බදු මුදල කොපමණද?
 
මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවීම පැහැර හැර ඇති බදු මුදල් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා සුරාබදු කොමසාරිස් ජනරල්වරයා විසින් ඊට පිළිතුරක් එවා තිබූ බව පෙත්සමේ සඳහන්ය.

සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ඒවා තිබූ එම පිළිතුරු ලිපියට අනුව ඉහත මත්පැන් නිෂ්පාදන සමාගම් 10 විසින් රුපියල් කෝටි 678 කට අධික (6,785,370,777. 64) මුදලක් බදු වශයෙන් ගෙවීම පැහැර හැර තිබෙන බව අනාවරණය කර තිබේ.

 
බදු ගෙවිය යුතු ආකාරය කෙසේද?
 
මත්පැන් බෝතලයක මිලෙන් සියයට 75 ක්ම අන්තර්ගත වන්නේ බදු මුදල්ය. එම බදු මුදල මත්පැන් විකුණන අවස්ථාවේදීම පාරිභෝගිකයින්ගෙන් සෘජුවම අය කර ගැනෙයි.

සුරා බදු පනතේ 22 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව යම් මත්පැන් නිෂ්පාදන සමාගමක් මාසයේ පළමු දින 15 තුළ සිදුකරන නිෂ්පාදන සඳහා වන බද්ද එම මස 16 වනදා සිට 31 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව සඳහන් කර තිබේ.

ඊට අමතරව එම මස 15 වනදා සිට 31 වන දා දක්වා සිදුකරනු ලබන මත්පැන් නිෂ්පාදන සඳහා ගෙවිය යුතු බද්ද එම මස 31 වනදා සිට ඊළඟ මස 15 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බවත් එහි සඳහන්වේ.

එසේ ගෙවීම පැහැර හරිනු ලබන බදු මුදල් සඳහා මසකට එම බදු මුදල මෙන් තුන් ගුණයක අධිභාරයක් පැනවීමට ද අදාල වගන්තිය තුළින් සුරාබදු දෙපාර්තමේන්තුවට බලය ලබා දී තිබේ.

"මෙම මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර වාර්ෂිකව අලුත් කිරීමේදී මෙම බදු මුදල් ගෙවා තිබිය යුතු බවත් එම නීතියේ සඳහන් කර ඇත.

මෙවැනි බරපතළ නීතිමය ප්‍රතිපාදන තිබියදී මත්පැන් නිෂ්පාදන සමාගම් හිතාමතාම අදාළ බදු මුදල් ගෙවීම පැහැර හරිමින් සිටින අතර සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වග උත්තරකරුවන්ද එම මුදල් අයකර ගැනීම සඳහා අලස ස්වරූපයකින් කටයුතු නොකර සිටින බවත් පෙනී යනවා." යනුවෙන් පෙත්සන්කරුවෝ සිය පෙත්සමෙන් චෝදනා කර සිටිති.

 
සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබේද?
 
මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් ආර්ථිකයට අය විය යුතු බදු මුදල් නිසි පරිදි අය නොවීම නිසා දැඩි දුෂ්කර තත්ත්වයක් මතුව ඇතැයි පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මේ නිසා ජනතාව වෙත සැපයෙන භාණ්ඩ හා සේවා වෙනුවෙන් දරාගත නොහැකි ආකාරයේ බදු පැනවීමට රජය කටයුතු කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් සියයට 15 පැවැති වැට් අගය සියයට 18 ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් පාරිභෝගිකයින් තව දුරටත් අසීරුතාවකට පත්ව තිබෙන බවත් චෝදනා කර තිබේ.

එසේ තිබියදී සුරා බදු දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන් බදු අය කර ගැනීමේ සිය නීත්‍යානුකූල රාජකාරිය හිතාමතාම පැහැර හරිමින් බදු අය කිරීම අතපසු කරමින් සිටින අතර විශාල හිඟ මුදල් ගෙවීමට ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත නීතියට පටහැනි ලෙස තව දුරටත් වාර්ෂික බලපත්‍ර ද නිකුත් කරමින් සිටින බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරති.

මේ තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් මෙරට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරුවෝ පෙත්සම් වලින් චෝදනා කර සිටිති.

 
අධිකරණයෙන් ඉල්ලා සිටින සහන මොනවාද?
 
බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වලට එරෙහිව ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් පහත සඳහන් සහන අධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
1. මේ දක්වා බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් සහ ඔවුන් විසින් ගෙවීම පැහැර හැර තිබෙන බදු මුදල් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කිරීම.

2. මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බදු ගෙවීම පැහැර හැර තිබෙන වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කර තිබෙන බලපත්‍ර තාවකාලිකව අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කිරීම.

3. බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත යළි බලපත්‍ර නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කිරීම.

4. වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් දැනට ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් අය කරගැනීමට පියවර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ මෙම පෙත්සම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිති.
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image