විධායකය හා ව්‍යවස්ථා සභාව අතර මතුව ඇතැයි පෙනෙන්නට ඇති ගැටුම නොපමාවම සමථයකට පත්කර ගන්නා ලෙස 'සාධාරණ සමාජයක් සඳහා

වන ජාතික ව්‍යාපාරය' ඉල්ලා තිබේ.

එහි සභාපති කරූ ජයසූරිය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ ව්‍යවස්ථා සභාව ඇති බලය පිළිබඳව කිසියම් මත භේදයක් මතුව ඇති බවට පෙනෙන්නට තිබීම එවැනි ගැටුමකට හේතුවක් වී ඇති බව දැකගත හැකි බවයි.

ප්‍රජාතන්ත්‍රවාද තහවුරු කර ගැනීම උදෙසා ඇති කරගත් ව්‍යවස්ථා දායක සභාව දුර්මුඛ කිරීමට කටයුතු නොකළ යුතු බව මෙන්ම එය මූලික කරගෙන කිසිඳු පාර්ශවයක් ගැටුමකට යොමු නොවිය යුතුය බවයි එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ.

“මෙහිදි අප අවධාරණය කරන්නේ 17වන ආණ්ඩුක්‍රම සංශෝධනය මගින් ලබාදුන් බලතල 18 හා 20 වන සංශෝධන හරහා අකර්මණ්‍ය කරන ලද්දේ වුවත් 19 හා 21 වන සංශෝධන හරහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් තම හෘද සාක්ෂියට අනුව බුද්ධිමත්ව හා ස්වාධිනව තීරණ ගැනීමට හැකියාවක් ලබාදී ඇති බව අපි ඉහළින්ම විශ්වාස කරන බවය.

ඒ අනුව දේශයේ නාමයෙන් අප ඉල්ලා සිටින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් හා ජනතාවගේ අභිලාෂයන්ට ගරු කරමින් මේ රටේ සිවිල් සමාජය මූලිකත්වය ගෙන සටන් කර අත්පත් කර ගත් ජයග්‍රහණයක් දුර්මුඛ කිරීමට කටයුතු නොකළ යුතුව ඇති අතරම එය මූලික කරගෙන කිසිඳු පාර්ශවයක් ගැටුමකට යොමු නොවිය යුතුය යන්නය.

 1999 වර්ෂයේ දී පැවැත් වූ දුෂිත වයඹ මැතිවරණයෙන් පසුව සිවිල් සමාජය හා එක්ව 17වන සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරගැනීමට ක්‍රියාකාරී වූ පාර්ශ්වයක් ලෙස මෙම අර්බුදය පිළිබඳව අප තුළ ඇත්තේ බලවත් කණගාටුවකි.”

 
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කළ ව්‍යවස්ථා දායක සභාව මුල්කරගනිමින් ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කර ගැනීම හරහා ආයතනවල ඇති වු ස්වාධීනත්වය ද මෙහිදි සිහිපත් කර ඇත.

“එදා පැවැති ජනතා විමුක්ති පෙරමුණ - පොදු පෙරමුණු රජය සමඟ සන්ධානගත වූයේද 17වන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මුල්කර ගනිමිනි. ඒ තුළ ර‌ටේ පරිපාලනය බොහෝ දුරට නිර්දේශපලනීයකරණය වීම ඉතා වැදගත් සිදුවීමක් විය. මැතිවරණ කොමිසමට එදා යෝජනා කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරුවරයා පත්කිරීමට එදා සිටි රාජ්‍ය නායකත්වය අකමැති වූවද අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට එය බාධාවක් නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවා, පොලිස්, වැනි කොමිෂන් සභා සක්‍රීය වීම නිසා ඉන් පසුව පැවැති මැතිවරණ බලපෑම්වලින් තොරව, ස්වාධීනව පැවැත්වීමට හැකි වූ බව අප අමතක නොකළ යුතුය. ඒ බව එකළ සිටි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.”

 මෙවැනි ගැටුම් ඇති කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට 17 වැනි සංශෝධනය ගෙන ඒමට දායකත්වය දැක්වු පිරිසගේ කැපකළ ශ්‍රමය, කාලය හා ලබාදුන් බුද්ධිමය දායකත්වය විනාශ කිරිමක් බවටයි කරූ ජයසූරිය චෝදනා කරන්නේ.

 
“17වන සංශෝධනය ගෙන ඒ්මට දායක වූ අය බොහෝ දෙනකු ජීවතුන් අතර නැත. ඒ් වෙනුවෙන් ඔවුන් කැපකළ ශ්‍රමය, කාලය හා ලබාදුන් බුද්ධිමය දායකත්වය අවුරුදු 23කට පසු විනාශ වන තත්ත්වයකට යොමු කිරීමට කිසිවකු හෝ උත්සහ කරන්නේ නම් එය මහත් වූ වේදනාවකි. එමෙන්ම පවිත්‍ර අරමුණකින් ක්‍රියා කළ එකී පිරිසට කරන්නා වූ අපහාසයකි.”

එබැවින් විධායකය හා ව්‍යවස්ථා සභාව අතර, කිසිඳු ගැටුමක් ඇති නොවීමට වගබලා ගනිමින් රටේ දැවෙන ප්‍රශ්නවලට හේතු සපයා ඇති ආර්ථික දුෂ්කරතා අවම කරමින් ජනතාවගේ සුභසිද්ධිය සඳහා පෙරමුණ ගන්නා අතර, මහා පරිමාණ ඝාතන, මංකොල්ලකෑම්, මත්කුඩු ව්‍යාප්තිය හා රට පුරා ඉහවහා ගොස් ඇති දූෂණ හා අක්‍රමිකතාවයන් අතුගා දැමීමට එක්ව ක්‍රියාකිරීමට කටයුතු කරන ලෙසටයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සභාපති කරූ ජයසූරිය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.


සබැඳි පුවත් :


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්