‘අවලෝකේතීෂ්වර බෝධිසත්ව' වශයෙන් පෙනී සිටියේ යැයි අත්අඩංගුවට ගෙන

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන හෙයින් ඔහු ඇපමත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද පෙබරවාරි 7 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවිණි.

එහිදී මහේස්ත්‍රාවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ලැබී තිබෙන බව සඳහන් කළේය.


එම වෛද්‍ය වාර්තාවට අනුව සැකකරු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් ඔහුට සායනික ප්‍රතිකාර අවශ්‍ය බවත් නිසි ප්‍රතිකාර නොලැබුණොත් ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න විය හැකි බවට මානසික වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.


එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්

 

" මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා. ඔහු මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා. ඒ නිසා මෙම පුද්ගලයාට දඬුවම් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු ප්‍රතිකාර සඳහා යොමු කිරීම තමයි පැමිණිල්ල අපේක්ෂා කරන්නේ. කෙසේ වෙතත් බුදු දහමට අපහාස කිරීම සඳහා මෙවැනි පෙළඹවීම් සිදුකරන මූලධර්මවාදී සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කරනවා. මෙම සැකකරු අප මත මුදා හැරිම සම්බන්ධයෙන් අපි විරුද්ධ වන්නේ නැහැ. " යනුවෙන් සඳහන් කළේය.


එසේම මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලබන්නේ නම් ඉදිරියේ දී ජනතාව මුලා කරන ආකාරයේ සහ ආගමික නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකරුට නියෝගයක් නිකුත් කරන මෙන්ද නියෝජ්‍ය සොල්සිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කළේය.

එසේම මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ සෑම සඳුදා දිනකම පැවැත්වෙන මානසික සෞඛ්‍ය සායනය සඳහා සහභාගි විය යුතු බවට සැකකරුට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අදාළ සායනයට යොමු කිරීමට ඔහුගේ අපකරුවන් වශයෙන් ඉදිරිපත් වූ පියාට සහ සහෝදරිය වග බලා ගතයුතු බවත් නියෝග කළේය.

එසේම මහජනතාව කැලඹීම් වලට පත් කරන ආකාරයේ සහ ආගමික සිත් රිදවීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට කොන්දේසියක් පනවනු ලැබීය. එසේම පැමිණිල්ල නැවත අප්‍රේල් මස 24 වනදා යළි කැඳවන ලෙසත් නියෝග නිකුත් කෙරිණි.


‘අවලෝකේතීෂ්වර බෝධිසත්ව' ලෙස පෙනී සිටින පුද්ගලයාගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවයි

අවලෝකේතීෂ්වර බෝධිසත්වයින් වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන ජනවාරි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 16 වැනිදා නියෝග කළේය.

සැකකරු අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ජනවාරි 15 වැනිදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු ජනවාරි 16 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කරනු ලැබීය.


‘බෝධිසත්වයකු බව අඟවමින් රංගනයක’

 

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී.... මේ සැකකරු 1979 වසරේ ජූනි මස 23 වැනිදා උපත ලබා තිබෙනවා. ඉන් පසුව ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වුණා. 2012 වසරේ ඔහු ඊජිප්තුවට පිටත්ව ගියා. එහි තිබෙන ඇමෙරිකානු කඳවුරක නිලධාරියෙකුගේ නිවසේ සුනඛයින් බලා ගැනීමේ රාජකාරියේ ඔහු නිරත වී තිබෙනවා. පසුව ඉකුත් ජනවාරි 01 වැනිදා මෙරටට පැමිණියා.


ගුවන් තොටුපලේ සිට කැලණිය විහාරයට ගොස් තමන් බෝධිසත්වයකු බව අඟවමින් රංගනයක නිරත වුණා. තමන් ශ්‍රී ලංකාව බේරා ගැනීම සඳහා මෙරටට පැමිණි බවත් ප්‍රකාශ කර තිබෙනවා" යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොල්සිටර් ජනරාල්වරයා "මේ සැකකරු විසින් යූටියුබ් නාලිකා පහක් පමණ පවත්වාගෙන යනවා. ඒ හරහා ඔහු බුද්ධ ධර්මය විකෘති කරමින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඔහු පවසන්නේ 2016 වසරේ දී තමන්ට මෙම විඤ්ඤාණය පහළ වූ බව. ඔහු විසින් තම දේශනා තුළින් බුද්ධ ධර්මය විකෘති කරමින් කරුණු දක්වා තිබෙනවා. තමන්ට අනුගාමිකයින් ලක්ෂ තුනක් පමණ සිටින බවත් ඔහු සඳහන් කර තිබෙනවා." යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 291, පරිගණක අපරාධ පනතේ 06 වන වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොල්සිටර් ජනරාල්වරයා"මේ පුද්ගලයාට අනුගාමිකයින් ලක්ෂ තුනක් පමණ සිටින බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙරටදී ඔහුගේ කටයුතු සංවිධානය කරන්නේ පූණ්‍යසිරි නමැති පොලිස් නිලධාරියෙකු සහ තවත් වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු පිරිසක්. සැකකරු මෙරටදී රැඳී සිට තිබෙන්නේත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකුගේ බිරිඳට අයත් නිවසක. මෙම සැකකරු දිවයිනට පැමිණි දින සිට මේ දක්වා සිදුකළ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් වැය කර තිබෙන බව ඔහුගේ අනුගාමිකාවක වන සුදර්ශනී නිලන්තිකා කරුණාරත්න නමැතිය ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කළා. එසේම කටුනායක ගුවන් තොටුපළේ සිට කැලණිය විහාරයට පැමිණීම සඳහා ඔහු විසින් භාවිතා කළ "ලිමොසින්" වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය කැලණිය ප්‍රදේශයේ සිටින පියතිස්ස නමැති පුද්ගලයෙකුගෙන් රුපියල් 25000 ක කුලී පදනම මත ලබාගෙන තිබෙන බවත් හෙළිවී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයිනුත් ඔහුට සහාය වන බවට හෙළිවී තිබෙනවා." යනුවෙන් කියා සිටියේය.

සැකකරු ඇපමත මුදා හැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පිරිස්

"ස්වාමීනි.. මේ වන විට බුද්ධාගමට විවිධ තර්ජන එල්ල වී තිබෙන බව පෙනී යනවා. මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ නායක හිමිවරු ඇතුළු මහ නායක හිමිවරු පස් නමක් බුදු දහමට එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කළ බව ජනමාධ්‍ය වාර්තා කළා. තමා විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරන බවත් සැකකරු ප්‍රකාශ කර තිබෙනවා. තුන්වන විනිසුරුවරයකු පැමිණ තිබෙන බවත් ඔහු සඳහන් කළා. සැකකරු විසින් සිදුකළ ඇතැම් ප්‍රකාශ නිසා මහජන නොසන්සුන්තාවක් ද ඇති වී තිබෙනවා. නමුත් මේ පුද්ගලයා දෙස අනුකම්පාවෙන් බැලිය යුතුයි. ඔහුට දඬුවම් කිරීමෙන් ඵලක් නැහැ. බෙහෙත් ලබාදිය යුතුයි."

යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 374 සහ 376 වන වගන්ති යටතේ මෙම සැකකරු අංගොඩ ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනය වෙත ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු ලැබීය.

‘වෛරී ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල කරන්න බැහැ’

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් "තම සේවා දායකයා සිය ප්‍රකාශ තුළින් බුදුරජාණන් වහන්සේට හෝ කිසිදු ආගමික නායකයකුට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර නෑ. එසේ කර තිබුණා නම් ඔහුට එරෙහිව අයි.සී.සී.පී.ආර් පනත යටතේ චෝදනා ඉදිරිපත් කරනවා. ඒ නිසා තමයි ඔහුට එරෙහිව අයි.සී.සී.පී.ආර්. පනත යටතේ චෝදනා ඉදිරිපත් නොකිරීමට පොලිසිය කටයුතු නොකළේ. ඒ නිසා සැකකරු වෛරී ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල කරන්න බැහැ. එසේම මෙම සැකකරු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට කරුණු මේ වනතෙක් අධිකරණයට ඉදිරිපත් වී නැහැ. යූ ටියුබ් නාලිකාවකට වීඩියෝ පටයක් උඩුගත කිරීම පරිගණක අපරාධ පනත යටතේ වරදක් හැටියට සලකන්න බැහැ. මොහුගේ ප්‍රකාශ නිසා මහජන ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ.එසේම වාර්ගික හෝ ආගමික නොසන්සුන්තාවක් ඇති වී නැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඔහුගේ මානසික තත්ත්වය පරික්ෂා කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බවත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින්පැවසුවේ,"මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය පවසනවා. එසේම බුදු දහමට එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහනායක හිමිවරුත් මේ අවස්ථාවේදී ප්‍රකාශ නිකුත් කර තිබෙන බව සඳහන් කළ යුතුයි. එසේම මෙම සැකකරුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍ය තුළද විශාල කතාබහක් මතුවී තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත් කළ මෙම සැකකරුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මහජන කැළඹීමක් මතුවී තිබෙන බව අධිකරණයට නිරීක්‍ෂණය වෙනවා. එසේම සැකකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ද අධිකරණය නිරීක්‍ෂණය කළා. දෙපාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර ලෙස සැකකරු විත්ති කූඩුවේ සිටිමින් සිය අංග චලනයන් (අංග තුලාව) ඔස්සේ සිය හැඟීම් ප්‍රදර්ශනය කිරීමේදී ඔහු කිසියම් මානසික ව්‍යාකූලතාවයකින් පසුවන බව අධිකරණයට නිරීක්‍ෂණය වේ." මෙම තත්ත්වය යටතේ සැකකරු ඇප මත මුදා හැරියහොත් මහජන කැළඹීමක් මතු විය හැකි යැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

'අවලෝකේතීෂ්වර බෝධිසත්ව' ලෙස පෙනී සිටින පුද්ගලයා අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් (ජනවාරි 15 වැනිදා) මෙම සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

පරිගණක අපරාධ පනත යටතේ මහජන සාමය කඩවීම සම්බන්ධ මූලික චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබු සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව සහ අදාළ වීඩියෝ අධ්‍යනය කිරීමෙන් පසු මොහුට විරුද්ධව කුමන චෝදනා ගොනු කරන්නේ දැයි තීරණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


දණ්ඩ නීති සංග්‍රහයේ (291, සහ 291 අ, ආ) යන වගන්ති යටතේ ආගමික හැඟීම් රිදවීම යන ඒකායන චේදනාවෙන් වචන ප්‍රකාශ කිරීම, යම් පන්තියකට හෝ ආගමකට ආගමික විශ්වාසයකට නින්දා කිරීම යන වැරදි සහ පරිගණක අපරාධ පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට හැකි බව ද ඔහු පැවසීය.


මෙම පැමිණිල්ල ඉකුත් සිකුරාදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දී තිබුණේ මොහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තුවක් ලබාගැනීම සඳහා සාක්ෂි මෙහෙයවීමට අවශ්‍ය බවයි.

ඒ අනුව වරෙන්තුව ලබාගැනීමට අදාළ සාක්ෂි මෙහෙයවීම ජනවාරි 17 වනදා සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබුණි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ එසේ තිබියදීය.

zdfswer

 

'අවලෝකේතීෂ්වර බෝධිසත්ව' ලෙස පෙනී සිටින පුද්ගලයා පිටුපස සිටින්නේ කවුද? අධිකරණය විමසයි

අවලෝකේතීෂ්වර බෝධිසත්ව වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (ජනවාරි 12 වැනිදා) නියෝගයක් නිකුත් කරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම් පිළිබඳ පරික්ෂා කර වාර්තාවක් කැඳවීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු භික්ෂූන් වහන්සේලා කීප නමක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා "ස්වාමීනී... පසුගිය 01 වැනිදා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයෙකු අවලෝකේතීෂ්වර බෝධිසත්වයින් වශයෙන් පෙනී සිටිමින් ශ්‍රි ලංකාවට පැමිණියා. ඔහු පැමිණියේ ඊජිප්තුවේ සිටයි. පසුව ඔහු කෙළින්ම ගමන් කළේ කැලණිය විහාරයට. එම ගමන සඳහා ඔහු යොදාගත්තේ "ලිමෝසින්' වර්ගයේ සුපිරි මෝටර් රථයක්. පසුව මේ පුද්ගලයා කැලණිය විහාරයේදී ධර්ම දේශනයක් සිදුකර තිබෙනවා. මුදලට ගෙන්වා ගත් පිරිසක් යොදවා ගෙන වැඳුම් පිඳුම් ද ලබා තිබෙනවා. දැන් මේ පුද්ගලයා උපාසිකාවන්ගෙන් රුපියල් දස දහසක් වැනි මුදලක් ලබාගෙන නිවාස වලට ගොස් ධර්මය දේශනා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා. ස්වාමීනී.. පුද්ගලයෙකු යම්කිසි දර්ශනයක් ඇදහීම පිළිබඳ අපට ගැටළුවක් නැහැ. මේ පුද්ගලයා ඉදිරිපත් කරන කරුණු අතිශය භයානකයි.”

මෙම පුද්ගලයා පිටුපස සිටින්නේ කවුද?

ඔහු පෙන්වා දුන්නේ “ආගමික දේශනයක් නිසා සියදිවි නසා ගැනීම් මාලාවක් පසුගියදා හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වුණා. මේ පුද්ගලයා තම දියණිය දූෂණය කළ බවත් ප්‍රකාශ කර තිබෙනවා. මොහු ළමා අපචාර නඩුවකට පාත්‍ර විය හැකි පුද්ගලයෙක්. බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන බවට අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි ක්‍රියා දෙස බලා සිටීම ඉතා භයානකයි " යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනාල්වරයා දණ්ඩ නිති සංග්‍රහය යටතේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම පුද්ගලයා විසින් දේශනා කරනු ලබන කරුණුවල අන්තර්ගත භයානක තොරතුරු රාශියක් පවතින බවත් සඳහන් කර සිටියේය.


"ස්වාමීනි.. මහසත් බෝධිසත්වයා සද්ධර්ම පුණ්ඩලික සූත්‍රය ශ්‍රවණය කර ඊට පූජෝපහාර ලෙස කල්ප අසූවක් ශරීරය දල්වා සිටි බව මෙම පුද්ගලයා සිය දේශනවල සඳහන් කරනවා. ශරීරය ගිනි තබා තිබුණා කියලා කියනවා. තමන්ගේ ආත්මය බුදුන්ට පූජාවක් ලෙස ගිනි තබා ගත්තා කියලත් කියනවා. " මම කියන්නෙත් එහෙම කරන්න කියලා." යනුවෙන් දේශනා කරනවා." මේක භයානක ප්‍රකාශයක් යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යශෝධරා දේවියට ද මේ පුද්ගලයා අතිශය දරුණු අපහාසයන් සිදුකර තිබෙන බවත් කියා සිටියේය.



"ස්වාමීනි..." යශෝධරා වගේ කාලකන්නි කමට හැදෙන පිරිවරක් ඉන්නවා. පෙර ජන්ම වලදී කිසිදාක බුදුන් කියලා පිළිගත්තේ නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අරන් ආවායින් පස්සේ පිළිගන්න සිද්ධ වෙනවා" යනාදී වශයෙන් යශෝධරාවන්ටද අපහාසාත්මක ප්‍රකාශ සිදුකර තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම පුද්ගලයා නඩු හබ විසඳා දෙන බවත් සඳහන් කරන අතර නීතිපතිවරයා පරිස්සම් විය යුතු බවටත් සිය දේශනවල සඳහන් කර තිබෙන බවත් දිලීප පිරීස් සඳහන් කළේය.

zdfsftw4eමෙම පුද්ගලයා පිටුපස සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කර තිබේදැයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රශ්නයක් මතු කරමින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය.


මෙහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රශ්නයක් මතු කරමින් මෙම පුද්ගලයා පිටුපස සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කර තිබේදැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ, "ස්වාමීනි... මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරගෙන යනවා. අවාසනාවන්ත තත්ත්වයක් තමයි බඩල්ගම පොලිසියේ සේවය කරන පුණ්‍යසිරි නැමැති සැරයන්වරයෙක් මෙම පුද්ගලයාට සහාය වන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා. කැලණිය විහාරයේ පැවැති ධර්ම දේශනාව සංවිධානය කිරීමට මේ පුද්ගලයා සහාය වී තිබෙනවා." යනුවෙන් කියා සිටියේය.

වැඩිදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා සාක්ෂි මෙහෙයවීමට දිනයක් ලබා දෙන ලෙසත් අධිකරණය හමුවේ ඉල්ලා සිටිනු ලැබීය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊට අදාළ සාක්ෂි මෙහෙයවීම සඳහා පැමිණිල්ල නැවත ලබන 17 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

(BBC සිංහල සේවය)


සබැඳි ලිපි :

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image