අධික විදුලි බිල සහ අධික තෙල් මිල හේතුවෙන් 2028 වන විට ණය ගෙවීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා රජයට ඇති වී 2028 දී නැවත වරක් රට බංකොලොත්භාවයට පත් වනු ඇති බවට එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අනාවැකි පළ කර තිබේ.


ආර්ථිකය සංකෝචනය වීම නිසා හතර දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් ලක්ෂ අටක් අහිමි වී ඇති පරිසරයක, ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, එවැනි තත්ත්වයකදී විදුලිය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් බව මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් හට ප්‍රකාශ කර ඇත.

 

විදුලි බිල වැඩි වීම තුළ ශ්‍රී ලංකාවේ කර්මාන්ත බිඳ වැටෙමින් පවතින බව පවසන මන්ත්‍රීවරයා, අඩු විදුලි බිලක් සහිත තරගකාරී රටවල් වෙත ආයෝජකයෝ පිවිසිම කර්මාන්ත ක්ෂේත්‍රය බිඳවැටීමට ප්‍රධාන සාධකයක් බව පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් පවතින වටපිටාවක වුවද රාජ්‍ය ආදායම රුපියල් බිලියන දෙදහසකින් වැඩි වී ඇත්තේ ජනතාවගෙන් අය කළ බදු නිසා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

 

පසුගිය වසර හතරේදී රජය සෑම පුරවැසියෙකුගෙන්ම රුපියල් ලක්ෂයක් බැගින් එක් කර ඇති බව ඉන් සනාථ වන බව පාඨලී චම්පික රණවක කියා සිටියේය.

එබැවින් විදුලි බල මණ්ඩලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාකිරීමේ වගකීම මහජන උපයෝගීතා කොමිසම වෙත පැවරෙන බව එම කොමිසමේ නිලධාරින් හමුවු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහජන උපයෝගිතා කොමිසම ජනතාවට සහන සැලසෙන පරිදි තීරණ නොගෙන සිය ගකීම ඉටු කිරීමට අසමත් වුවහොත් ජනතාවගේ කෝපය යොමු වනු ඇති බවට ද එක්සත් ජනරජ පෙරමුණේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනතුරු අඟවා තිබේ.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image