මැසි මදුරුවන් බෝ වෙමින් පරිසරයට විශාල තර්ජනයක්ව තිබූ මැටි හා පස් ගැනීමෙන් නිර්මාණය වූ

විශාල වගුරු භූමියක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන මැතිවරණ කොට්ඨාසයේ බොලගල පරිසර හිතකාමී හෝටල් පද්ධතියක් ලෙස ගොඩ නගා විවෘත කිරීම අද (01) සිදු විය.  

මහත් පරිසර හානියක් සිදු කරමින් අවලස්සන ලෙස පැවති ප්‍රදේශයක් මෙලෙස සංචාරක ආකර්ෂණය දිනා ගන්නා පරිසර පද්ධතියක් ලෙස සංරක්ෂණය කිරීමේ සිතුවිල්ලක් පහල වී ඇත්තේ, පස් ගැනීමේ ව්‍යාපාරයේම නියුතුව සිටි කැලුම් පෙරේරා ට මීට වසර පහකට පමණ පෙරය.

ඒ වන විට මඩ වගුරක්ව තිබූ අක්කර 250ක පමණ අතහැර දමා තිබූ භූමිය පරිසරයට තර්ජනයක්ව තිබිණි. මේ නිසා පරිසර බලධාරීහු මෙම භූමිය පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව සොයා බලන ලෙස පෙරේරා ගෙන් ඉල්ලීමක් කළහ.

ඒ වන විට මෙම ප්‍රදේශය විශාල මඩ වලක් සහ මැටි සහ පස් ගැනීමෙන් බිහි වූ විශාල වලක්ව පැවතිණි. වලවල් වසා දැමීමට නම් පස් කියුබ් මිලියන ගණනක් අවශ්‍ය බව ඔහුට වැටහිණි. ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අපහසු පියවරකි. මෙම ප්‍රදේශය ආසන්නයෙන් මහ ඔය ගලා යන නිසා ජලය මූලාශ්‍රයක් කර ගනිමින් ජලය සම්බන්ධ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව පෙරේරා අදහස් කළේය.

ඒ අනුව මෙම භූමිය ජලයෙන් පුරවා පාවෙන සංචාරක හෝටලයක් ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු කළ ඔහු මුල් අදියරේදී අක්කර 250ක පමණ භූමියෙන් අක්කර 40 ක් පමණ තෝරාගෙන පරිසර සංරක්ෂණයට මූලිකත්වය දෙමින් හෝටලයේ ඉදිකිරීම් ආරම්භ කළේය.


ඒ අනුව මුලින්ම පාවෙන හෝටලයක් ඉදිකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරඹා ඇත. අනතුරුව දේශීය ඉංජිනේරු තාක්ෂණය සහ දේශීය ගෘහ නිර්මාණ තාක්ෂණය යොදා ගනිමින් හෝටලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

 

අද වන විට පාවෙන කබානා, පාවෙන රෙස්ටෝරන්ට්, පාවෙන පිහිනුම් තටාක ඇතුළු සංචාරක හෝටලයක තිබිය යුතු සියලු අංගවලින් සමන්විත පාවෙන හෝටල් සංකීර්ණයක් ඉදිකර ඇත. විශේෂත්වය වන්නේ මෙම හෝටලයට ග්රීන් හවුස් (floating green house) එකක්ද අන්තර්ගත වීමයි.

මෙම floating green house එකෙහි මේ වන විටත් දේශීය එළවළු පලතුරු වර්ග විශාල ප්‍රමාණයක් ඉතා සාර්ථකව වගා කර ඇත. ඉතා සාර්ථක කාබනික වගාවක් ලෙස පවත්වාගෙන යන මෙම ෆ්ලෝටින් ග්රීන් හවුස් එකෙහි අස්වනු නෙළීමට හෝටලයට පැමිණෙන සංචාරකයන්ට අවස්ථාව සැලසීමට හෝටල් පාලන අධිකාරිය තීරණය කර ඇත.


හෝටලයට පැමිණෙන සංචාරකයන්ට පාවෙන ග්රීන් හවූස් එකට පිවිස එළවළු පැළ සිටුවීමට, එළවළු සහ පළතුරු අස්වනු නෙළීමට අපි අවස්ථාව ලබා දෙනවා යැයි පෙරේරා පැවසීය. එමෙන්ම සංචාරකයන් සඳහා දේශීය එළවළු සහ පලතුරු යොදා ගනිමින් දේශීය ආහාර ලබාදීමටද අවධානය යොමුව තිබෙනවා. ඒ බොහෝ සංචාරකයන් එක් එක් රටවල ආහාර සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සහ එම ආහාර රස විඳීමටත් රුචිකත්වයක් දක්වන බැවිනි.


මෙම හෝටලය සියලු පහසුකම් සහිත පාවෙන කබානා 37කින් සමන්විත වේ. එමෙන්ම ස්වයං ධාවන (Auto pilot) කබානා දහයකින් සමන්විතය. මෙම ඔටෝ ෆයිලට් කබානා gps තාක්ෂණය භාවිතා කරමින් පැයට නොට් එකක වේගයකින් ජලාශය වටා ගමන් ගනී. මෙම වේගයෙන් කලින් සැලසුම් කල මාර්ගයක් (pre designed route) ඔස්සේ ජලාශය වටා එක් වරක් ගමන් කිරීමට පැය දෙකක කාලයක් ගතවේ.

මීට අමතරව පවුලේ සාමාජිකයන් සියලු දෙනාට නවාතැන් ගත හැකි ආකාරයේ පාවෙන සූට්ස් තුනක් ඉදිකර ඇත.

කසල කලමණාකරණය සඳහාද පරිසර හිතකාමී ක්රගමවේද අනුගමනය කර ඇත.


මෙය දිය මත පාවෙන හෝටල් එකක් බැවින් පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදෙන බව හෝටලේ කළමනාකාර අධ්‍යක්ෂ අරුණ පෙරේරා  පැවසුවේය. ඒ අනුව පැය 24 පුරා ක්‍රියාත්මක ජීවිත ආරක්ෂකයන් සේවයේ යොදවා ඇත. අවශ්‍යතාවයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ජීවිතාරක්ෂක කබා ඇතුළු ජීවිතාරක්ෂක උපකරණ තබා ඇත.


මූලික අදියරයේදී හෝටලය මගින් සෘජු රැකියා හතළිහක් පමණද වක්‍ර රැකියා දෙසීයක් පමණද බිහිවේ. මෙම ඍජු රැකියා මේ වන විටත් ලබාදී ඇති අතර රැකියා සම්පාදනයේදී ප්‍රදේශයේ තරුණ ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබාදී ඇත.

ස්වාභාවිකත්වයට වඩාත් සමීප වෙමින් හෝටලය ස්ථාපිත කර ඇති ජලාශයේ මිරිදිය මසුන් ඇති කිරීමට පියවර ගෙන ඇත. අවශ්‍යය  විදේශ සංචාරකයන්ට මසුන් බිලීබෑමට අවස්ථාව ලබාදීමට ද සැලසුම් කර ඇත.

හෝටල් ව්‍යාපෘතියට සමගාමීව අක්කර 18ක භූමියක් පුරා පාරම්පරික ගැමි ගමක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.

සත්ව පාලනය, පාරම්පරික ගැමි කර්මාන්ත, දේශීය වෙදකම ඇතුළු පාරම්පරික  ගම්මානයක තිබූ සියලු අංගවලින් මෙම ආදර්ශ ගැමි ගම සමන්විත වේ. සත්ව පාලන අංශයට කිරිහරක් පාලනය කුකුල් පාලනය එළුවන් පාලනය වැනි අංග ඇතුළත්වේ. මැටි වළං කර්මාන්තය, රා කර්මාන්තය, රස කැවිලි නිෂ්පාදනය, පැදුරු කර්මාන්තය, ලෝහ හා වානේ කර්මාන්තය වැනි අංශ ගණනාවකින් ග්‍රාමීය කර්මාන්ත අංශය සමන්විත වේ.


විදේශීය සංචාරකයන්ට මෙම ග්‍රාමීය කර්මාන්ත පිළිබඳව පුළුල් අවබෝධයක් සහ අත්දැකීමක් ලබාදිමේ මෙම පාරම්පරික ගැමි ගම ඉදිකර ඇත. මෙම හෝටල් ව්‍යාපෘතියේ දෙවන පියවර යටතේ ජල උද්‍යානයක් (water park) එක් කිරීමට නියමිතය. දැනට හෝටල් සංකීර්ණ ඉදිකර ඇති භූමිය ආසන්නයේ ඇති අක්කර 15ක වගුරු භූමියක් මේ සඳහා සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ජල උද්‍යානය, ජල ක්‍රීඩා (Water sports) අංශයකින් එක් සමන්විතය.


වගුරු බීමක්ම පැවති භූමිය පරිසර හිතකාමීව සංවර්ධනය කිරීමේදී විවිධ ගස් වර්ග රාශියක් සිටුවා තිබෙනවා. මේ නිසා වෙනදා දැකීමට නොහැකි වූ කුරුලු විශේෂ රාශියක් දැන් මෙම ප්රීදේශයේදී දැක ගන්න ලැබෙනවා. එයින් බහුතරයක් සංක්‍රමණික පක්ෂීන් බව නිරීක්ෂණය වෙනවා. කුරුල්ලන් ආකර්ෂණය වන ශාක විශේෂ තවදුරටත් සිටුවීමෙන් කුරුළු උද්‍යානයක් (bird park) හෝටලය ආශ්‍රිත ප්‍රදේශයේ සංවර්ධනය කිරීමටත් එමඟින් කුරුල්ලන් නිරීක්ෂණය (bird watching)   සංචාරකයන්ට අවකාශය සැලසීමටත් හැකියාව තිබෙන බව කැලුම් පෙරේරා පැවසීය.

''අපගේ අරමුණ වූයේ ලංකාවට එන සංචාරකයන් පිරිසෙන් කොටසක් මෙම හෝටලයට ගෙන්වා ගැනීම නොව නව සංචාරකයන් පිරිසක් හෝටල් ව්‍යාපෘතිය හරහා රටට ගෙන්වා ගැනීමයි. ඒ අනුව යුරෝපා සංචාරකයන් වැඩිපුර ලංකාවට ගෙන්වා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා මූලික කටයුතු මේ වන විටත් අරඹා තිබෙනවා.''

බොහෝවිට විදෙස් සංචාරකයන් වෙනත් රටක සංචාරයකට යන්නේ එම රටේ දේශීය අනන්‍යතා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අරමුණ මූලික කරගෙනයි.

එම නිසා සංචාරකයන්ගේ මෙම අරමුණු සාක්ෂාත් වන පරිදි නවමු අත්දැකීමක් ලබාදීමට හැකිවන ලෙස මෙම හෝටල් ව්‍යාපෘතිය සැලසුම්කර ඇති බව පෙරේරා පැවසීය.

floating hotel

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image