පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ඉන්දියානු සමාගම්වලින් අත්පත් කර ගැනිමට එම ව්‍යාපෘතියට උචිත ලෙස

රාජ්‍ය නීති පද්ධතිය වෙනස් කරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාර්තු 5 වැනිදා නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ සඳහා ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් අත්තනෝමතිකව තහවුරු කරමින් සිටින බවයි.

“මේ වනතුරු ලංකාවේ නීතිය තියෙන්නේ ඛනිජ සම්පත් රජයට අයිතියි කියලා. ඒ නිසා තමයි ඛනිජ කැනීම් බලපත්‍රයක් නැතිව තමන්ට අයිති ඉඩමක පවා ඛනිජ කැනීමට නීතියෙන් ඉඩක් නැත්තේ. ඒ නිසා තමයි ඛනිජ සඳහා රාජ්‍ය භාගයක් අය කරන්නේ. මේ අලුත් ප්‍රතිපත්තියේ කරලා තියෙන්නේ යම් භූමියක අඩංගු ඛනිජ පිලිබඳ තීරණ ගැනීමේදී එම ඉඩමේ අයිතිකරුට ඇති බලය වැඩි කරලා. මේ අලුත් ජාතික ප්‍රතිපත්තියේ 7 වන මූලධර්මයට අනුව ඉඩමේ අයිතිකරුට ඛනිජ කැනීමේ බලයක් හිමි වෙනවා විතරක් නෙවෙයි, කැනීම් බලපත්‍රය වෙනත් කෙනෙකුට ලබා දෙන්නත් පුළුවන්. මීට පෙර මුලින්ම 2023 මැයි 24 වැනිදා මෙවැනි ඉඩක් ලබාදෙන රෙගුලාසියක් නිකුත් කළා. ඊට පස්සේ 2024 ජනවාරි 4 වැනිදා ඉඩම් හිමියන්ට විශේෂ අයිතියක් හිමිවන ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒකට අනුව මන්නාරමේ සහ ත්‍රිකුණාමලයේ ඛනිජ සම්පත් විවිධ ඉන්දියානු සමාගම් විසින් අත්පත් කර ගත්තා.”


රනිල් - රාජපක්ෂ හවුල උත්සාහ කරමින් සිටිනුයේ රජය සතු ඛනිජ සම්පත් ඉඩම් හිමියා සතු බවට නිතියක් සාදා ඉඩම් හිමියා ඒ ඉඩම ඉන්දියානු සමාගමට විකුනලා හෝ බදු දීලා වටිනා ඛනිජ සම්පත් ඉන්දියාව සතු කිරිමට බවයි පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ.


“මොනොසයිට් වගේ ඛනිජ වල විකිරණශීලී මූලද්‍රව්‍ය තිබෙනවා. ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙකු වීමට උත්සාහ කරන නිසා විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු වටිනා ඛනිජ අත්පත් කර ගන්න හදනවා වෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකුණාමලය - සාම්පූර් වගේ යුද උපායමාර්ගිකව වැදගත් පුල්මුඩේ වෙරල තීරය සිය හිමිකාරීත්වයට ගන්න අරමුණ ටිහ්බෙන්න පුළුවන්. ඒ මොකක් වුනත් ලංකාව භූ දේශපාලන මිලිටරි උගුලක පැටලෙනවා.” යැයි ඔහු පැවසීය.

මේ විනාශයට එරෙහිව ජනතාව නැගී සිටිය යුතු බව මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම, පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වල සිටින හෘදය සාක්ෂියක් ඇති රජයේ නිලධාරීන්ටත්, ඛනිජ පිලිබඳ විශේෂඥයන්ටත්, පොදු ජනතාවටත්  මෙම විනාශයට එරෙහි පුළුල් ව්‍යාපාරයක් ගොඩනැංවීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ආරාධනා කළේය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image