ජනාධිපතිවරයා විසින් ලබා දීමට ගිය උපාධිධාරී පත්වීම් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැදිහත් වී වලක්වා ඇතැයි යනුවෙන් පිළිකුල් සහගත ප්‍රලාපයක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පතුරුවාහරිමින් සිටින බවත්, 

එම අසත්‍ය හා බියගුලු ප්‍රලාපය ඊටම අදාල පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කර සිටින බවත් සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ඒකකය විසින් අවධාරණය කර සිටියි.

නිවේදනයක් නිකුත්කරමින් එම අවධාරණය සිදුකර ඇති අතර එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.

''මැතිවරණයක් පැවැත්වෙන අවස්‍ථාවක මෙවැනි පත්වීම් ලබා නොදෙන බවත් එය සහමුලින්ම මැතිවරණ කොමිෂන් සභාවේ තීන්දුවක් බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැහැදිලිව සදහන් කරයි.එය මැතිවරණ කොමිසමේ තීන්දුව කි.

එමතු නොව,මෙවැනිම ආකාරයෙන් පත්වීම් ලබා දීම අත් හිටුවීමක් ඔහුගේ මැදිහත්වීමෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේද සිදු විය.

විදිමත් සුදුසුකම් සපුරා ව්‍යාපෘති සහකාර පත්වීම් ලද එම පිරිස අදටත් රැකියාවල පිහිටුවීමට ආණ්ඩුව සමත් වූයේ නැත. අවම තරමේ ඔවුනට සිදු වූ අසාධාරණය පිළිබඳව හෝ ආණ්ඩුව සොයා බැලුවේ නැත.

එහෙත් මැතිවරණ කොමිසමේ නීති රීති මායිම් ගැන දැන සිටියදී පවා ඒවා නොකරමින් ආණ්ඩුව තමන්ගේ වරද විපක්ෂ නායකයා වෙතට තල්ලු කරන දුෂ්ඨ ප්‍රචාරයක යෙදේ.

මෙය ඔවුන්ගේ අශිෂ්ඨත්වයේ ස්වභාවය මිස අනෙකක් නොවේ.

විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ කෙටි කාලයේදී පවා මේ රටේ ජන ජීවිත වලට බලපාන සාතිශය වැදගත් කාරණා කෙරෙහි ස්වකීය මැදිහත්වීම සිදුකළ විපක්ෂ නායකයා කිසිදු විටෙක නියමින් හෝ අනියමින් මෙවැනි සාපරාධී කටයුතු වලට දිරි දෙන්නේ නැත.

ලෝකයම ව්‍යාකූලත්වයට පත්වූ කොරෝනා ව්‍යසනය පිළිබදව මුලින්ම මෙරට පාර්ලිමේන්තුවේ කතා කළේ ඔහුය. දරුවන් සහ කාන්තාවන් මුහුණ දෙන ව්‍යසන පිලිබදව, විරැකියා ප්‍රශ්න පිළිබඳව, ණය වාරික ඉහළ දැමීමට එරෙහිව මෙන්ම සංවර්ධනයට පක්ෂවද ඔහු සිය කෙටි  ධූරකාලය තුල අවධානය යොමු කළේය.

අධික ණය වාරික ඔසවා දමා මේ රට බිහිසුණු ණය උගුලක සිර කිරීමට ආණ්ඩුව ගත් දුෂ්ඨ පන්නයේ උත්සාහය ව්‍යර්ථ වූයේ විපක්ෂ නායකයාගෙ සක්‍රීය මැදිහත්වීම නිසාය.

රැකියාවලින් දොට්ට දැමූ පිරිස් ගැන හඩ නැගූ ඔහු දේශපාලනය දඩමීමා කොටගෙන ජන ජීවිත හෝ තරුණයින්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්නේ නැත.

කෙසේ වෙත ශිෂ්ටසම්පන්න  මෙන්ම පිරිසිදු දේශපාලනයක් පිළිබදව විශ්වාස කරන කිසිවෙකු ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත අනුමත නොකරන අතර මෙවැනි ගෝත්‍රික පන්නයේ අවලාද තුලින් සිදුවන්නේ ආණ්ඩුව කෙරෙහි තවදුරටත් ජනතා විරෝධය  ඉස්මතු වීමයි.''


(හිටපු විපක්ෂ නායක මාධ්‍ය අංශය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්