මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රකට වෘත්තිකයෙකු වන

කාවන් රත්නායක පත් කර ඇත.

ඒ අනුව ඔහු නව තනතුරෙහි වැඩ භාර ගැනීම 2024 මාර්තු 14 වන දා සුබ මොහොතින් සිදු විය.

2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා ගෙන් පසු ව මෙම නව පත් කිරීම සිදු කර ඇත.

මෙරට රාජ්‍ය අංශයේ මෙන් ම පෞද්ගලික අංශය තුළ ද ප්‍රකට වෘත්තිකයෙකු වන කාවන් රත්නායක, බැංකු හා මූල්‍ය, විදුලි සංදේශ, තාක්ෂණ, සංචාරක සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳ ව මනා පළපුරුද්දකින් යුත් අයෙකි.

ඔහු වර්තමානය වන විට KBSL (Pvt) Ltd සහ Agility Innovations (Pvt) Limited යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ජයම් විජේරත්නම් භාරයේ සහ ඩයලොග් පදනමේ භාර කරු ලෙස ද කටයුතු කරයි.

ලංකා බැංකුවේ සභාපති තනතුරට පත් වීමට පෙර ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපති තනතුරු දරා ඇති කාවන් රත්නායක, ශ්‍රී ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසත්, කාගිල්ස් සිලෝන් පීඑල්සී සහ ඩයලොග් ආසියාටා යන සමාගම්වල සමූහ ප්‍රධාන ආයතනික නිලධාරීවරයා ලෙසත්, ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සහ IBM ශ්‍රී ලංකා හි මෙරට සාමාන්‍යාධිකාරී (Country General Manager) ලෙසත් සේවය කර ඇත.

ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයෙකු ලෙස ද, ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනයේ කවුන්සිල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇති කාවන් රත්නායක, ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

රිවර්සයිඩ් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇති කාවන් රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

කාවන් රත්නායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ සොයුරෙකි. 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image