'යුතුකම' ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.


ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරන සාමාජිකයින්ට ගෙවනු ලබන වාර්ෂික පොලිය ලෙස සියයට 29.27 ක් ගෙවීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

 එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

 

අවම වශයෙන් සේවක අර්ථසාධක අරමුදල් යොදවා 2022 වසරේ ඉපයූ ආදායමෙන් වියදම් පියවා, රජයේ බදු ගෙවා, අරමුදලේ සාමාජිකයන්ට 9%ක ප්‍රතිලාභ ලබාදුන් පසු ඉතිරිව ඇති බිලියන 21 මේ රටේ වැඩකරන ජනතාවට ම ලබාදෙන ලෙස ඉල්ලා - ජීවිතය වෙනුවෙන්, රට වෙනුවෙන් වෙහෙසුන ශ්‍රමිකයන්ට ම, තම දැනුම යෙදවූ වෘත්තිකයන්ට ම ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ගෙවිඳු කුමාරතුංග නිවේදනය කර සිටියි. 

 

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ගෙවනු ලබන පොලී අනුපාතය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පොලී අනුපාතය පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් තමා විමසීමක් කළ බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී  ගෙවිඳු කුමාරතුංග, සාමාන්‍ය අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සඳහා සියයට 09 ක පොලී අනුපාතයක් ගෙවන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට සියයට 29.27 ක පොලියක් ගෙවන බවත් ඊට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ බව සිය පෙත්සමේ දක්වා තිබේ.

පසුව මෙම විෂමතාවය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට පැමිණිල්ල ඉදිරිපත් කළද ඉන් සහනයක් අත්වී නොමැති බවද එම පෙත්සමේ සදහන් වේ.

මේ තුළින් රටේ වැඩ කරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම සාමාන්‍ය සේවක අර්ථසාධක අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදලේ වාර්ෂික පොලී අනුපාතය සියයට 11 ක අගයක පිහිටුවීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.

ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ සිටින සෑම සාමාජිකයෙකුටම රුපියල් 10 ක් බැගින්  ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ඇතුළු වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

(nethnews.lk - උදය කුමාර)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image