සමගි ජන බලවේග රජයක් තුළ 2019 දී පොරොන්දු වූ ආකාරයට අවශ්‍යතාව ඇති, මූල්‍ය ගැටලු නිසා දරාගත නොහැකි සියලුම කාන්තාවන් වෙනුවෙන් සනීපාරක්ෂක උපකරණ ලබා දෙන බවට විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.


2019 ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය මෙරට කාන්තා පරපුර නිරන්තරයෙන්ම මුහුණ දෙන සනීපාරක්ෂක ගැටලුවට තිරසර විසඳුමක් ලැබිය යුතුය යන ස්ථාවරයේ සිටි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සෙලින් පදනම විසින් සනීපාරක්ෂක පහසුකම් නොමැති, සනීපාරක්ෂක දරිද්‍රතාවෙන් පෙළෙන කාන්තාවන් වෙනුවෙන් ඉතාමත්ම වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළ බව ද ඔහු කියා සිටියේය.

සෙලීන් පදනම විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති BleedGood අවස්ථාව සඳහා එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේය.

 

කාන්තා සනීපාරක්ෂා උපකරණ ලබා දීම හුදෙක් සුබසාධනයක් පමණක් නොව දේශීය කර්මාන්ත කේන්ද්‍ර කර ගෙන එම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණු මෙයට සම්බන්ධ කරමින් ආදායම් උත්පාදනය කරන ආර්ථික වර්ධනයට දායකත්වය ලබා දෙමින් කාන්තාවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීමක් සිදු කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

 

ඒ තුළින් කාන්තා සෞඛ්‍ය ආරක්ෂා වීමක් මෙන්ම ඒ සඳහා වැයවන අනවශ්‍ය සෞඛ්‍ය වියදම් ද අවම කිරිමට හේතුවක් වන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමේ දී පරිසර හිතකාමී ලෙස යොදා ගත හැකි ක්‍රමයක් ද මෙහි දී ඉදිරිපත් වූ බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වුවත් පුරුෂ කේන්ද්‍රීය සමාජයක් තුළ එය තවමත් ක්‍රියාවට නැංවීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවත් තවදුරටත් කාන්තාවන්ගේ එම අයිතිය භංග වීමට ඉඩ නොදිය යුතු යැයි අවධාරණය කළේය.

අද වන විට සනීපාරක්ෂක තුවාවලට බදු පිට බදු ගහන රටක් ඇති බවත් මෙය කාන්තාවන්ගේ සෞඛ්‍ය අයිතිය හා රෝග නිවාරණයට මෙන්ම රැකියා උත්පාදනය කළ හැකි ක්‍රමවේදයක් බැවින් සමගි ජන බලවේග රජයක් තුළ එය අනිවාර්යෙන්ම ඉටු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්