කතානායකවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසං භංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.


මාර්ගත සුරක්ෂිත භාවය පනත සහ පොලිස්පතිවරයා පත් කර ගැනිමේ සිද්ධියට අදාළව ව්‍යවස්ථාව කඩ කළ බවට කතානායකවරයාට චෝදනා කරමින් විශ්වාස භංග යෝජනාව ගෙන එන ලදි.

ඉහත චෝදනා දෙකම සෘජුව ටිරාන් අලස් අමාත්‍යවරයාට අයත් විෂයට වැඩෙන අතර කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ දී අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කරන ලද සම්පුර්ණ ප්‍රකාශය පහතින්,


Online Safty Bill ගෙනා හේතුව..


මෙම විශ්වාසභංගයපදනම් වෙලා තියෙන්නෙ Online Safty Bill එකයි පොලිස්පති තුමාගෙ පත් කිරීම ගැනයි. මං පළමුවෙන්ම කියන්න ඕනෙ Online safty bill මේ පණත, ඉස්සල්ලාම මේ පණත හදන්න පටංගෙන තිබුණෙ යහපාලන ආණ්ඩුව කාලෙ. 2018 පටං ගත්ත එකක්, අමාත්‍යාංශ දෙකක් හරහා ඇවිල්ලා තමයි මගෙ අමාත්‍යාංශයට මේක භාරදුන්නෙ. අපි පුළුවන් විදිහට ඔන්ලයින් පණත හදල, ඒ මොකෝ ම් හැමදාම අපිට එන පැමිණිලි : අම්මල අඬනව ටෙලිෆෝන් කරල, ගැහැණු ළමයි අඬනව ටෙලිෆෝන් කරල මේ ඔන්ලයින් පණත ගේන්න කියල. ඒ මොකෝ ඒගොල්ලන්ට Social Media වලින් වෙන හිරිහැර, ළමයින්ට ගැහැණුන්ට වෙන හිරිහැර. මම මෙය ඉක්මනට ගේන්න කියල තීරණය කෙරුවෙත් එවැනි කරුණු හින්ද.

අපි ජනවාරි 23 වෙනිදයි 24 වෙනිදයි මෙම පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් පැවැත්වුවා. පවත්වල අපි මේ පණත සම්මත කරගත්තා. ඒ වෙලාවෙ මට මතකයි සුමන්තිරන් මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් නඟලා, මේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ Observation වලට අනුකූලව නෙවෙයි මේක කරල තියෙන්නෙ කියල ලොකූ ගාලගෝට්ටියක් ඇති උනා මෙතන. ඒ අවධියෙ සුමන්තිරන් මන්ත්‍රීතුමා මෙතන Box එකට ගිහිල්ලා නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් එක්ක කථා කරගෙන, ඊට පස්සෙ කිව්ව ඔක්කොම හරි කියල. මටත් එළියට ඇවිල්ල කිව්ව, මං කිව්ව ඔබ සියළු දෙනාගෙම මන්ත්‍රීවරුන්ට කියන්න කියල.

ඒ එක්කම නීතිපතිතුමාගෙ ලිපිය කථානායකට ලැබුණා. ඒ අනුව මෙය සම්මත උනා.

 ඉතිං මටනම් තේරෙන්නෙ නෑ මොකද්ද මේ ප්‍රශ්නෙ කියලා. හරියට සම්මත වෙච්ච පණතක් මේ සභාවෙ විටින් විට දිගින් දිගටම කියනව මේක හරියට කෙරුවෙ නෑ කියල.


පොලිස්පති පත් කිරීම ..

ඊලඟට පොලිස්පති තුමා පත් කිරීම. මුලින්ම පොලිස්පති තුමාගේ නම ජනාධිපති තුමා එව්වෙ වැඩ බලන පොලිස්පති හැටියට පත් කරන්න. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් පස් දෙනෙක් ඒකට පක්ෂව ඡන්දය පාවිච්චි කරල එතුමාව වැඩ බලන පොලිස්පති හැටියට පත් කෙරුවා. ඊට පස්සෙ ඒ මාස තුනක් ඇතුලතදි අපි ලොකු වැඩ කොටසක් කෙරුවා. මම යුක්තිය මෙහෙයුම පටන් ගෙන ලංකාව වටේම මේ කුඩු විකුණන ජාලය නැති කරන්නත්, පාතාලය නැති කරන්නත්, අපේ ජීවිත පවා පරදුවට තබල මේ දේ කරන්න අපි පටන් ගත්තා.  නමුත් අවාසනාවකට වගේ මේ දේ කරනකොට ගොඩක් බලපෑම් ආවා නඩු දාන්න පටන් ගත්ත, පොලිස්පති තුමාට විරුද්ධව නඩු දාන්න පටන් ගත්ත ඒ මොකෝ අපේ යුක්තිය මෙහෙයුම වැනි සියළු මෙහෙයුම් අඩාල කරන්න. ඒ නඩු ඔක්කොම දාන්නෙ එකම එක කල්ලියක්. ඒ කල්ලිය විසින් නඩු දාල බැලුව නවත්තගන්න වැඩ බලන පොලිස්පති හැටියට ඉන්න කාලෙම එතුමාව එතනින් අයින් කරගන්න. නමුත් අපි මාස තුනකට පස්සෙ ජනාධිපති තුමා එතුමාගෙ නම නිර්දේශ කෙරුවා පොලිස්පති හැටියට.

 මම මුලින්ම ස්තූතිවන්ත වෙනව අර සාමාජිකයින් පස් දෙනා ඉස්සෙල්ලම මෙතුමාව පත් කරන්න අනුමැතිය දීම ගැන. නමුත් පොලිස්පති හැටියට පත් කරන්න අනුමැතිය ගන්නකොට එතන සාමාජිකයින් හතර දෙනෙක් පක්ෂවත් සාමාජිකයින් හතර දෙනෙක් විපක්ෂවත් හිටියා. ඒ මොකෝ පක්ෂව අනුමැතිය දුන්නෙ නැත්තං ඒ කියන්නෙ අනිත් හතර දෙනා විපක්ෂයි.


එතනදි තමයි කථානායක තුමා දන්වල සිටියෙ ජනාධිපති තුමාට  හතර දෙනෙක් පක්ෂයි, හතර දෙනෙක් විපක්ෂයි එතුමාගේ ඡන්දය පක්ෂව දෙනව කියල. ඉතිං අපි මොන තර්ක කෙරුවත් කොහොමද ඡන්දෙ දුන්නෙ, කොහොමද ලියුම් එව්වෙ , කොයි වෙලාවේද එව්වෙ, මොන තර්කයක් කෙරුවත් අවසානයේ පස්දෙනෙක් සම්මත කරන්න එකඟ වෙලා තියෙනව.

සාමාන්‍යයෙන් ජනතාවට එක එක හේතු දාල විපක්ෂයෙන් කියනව මේක වැරදියි කියල, නමුත් මම හිතන්නෙ සියළු දෙනාටම පේනව මේක සම්මත වෙලා තියෙනව, සාමාජිකයින් පස් දෙනෙක් එකඟ වෙලා තියෙනව.

විශේෂයෙන්ම මම කියන්න ඕනෙ මේ ගැසට් නිවේදනයෙ තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්ම ගැසට් කරපු Rules . ඒකෙ තියෙනව "සභාවේ කර්තව්‍ය 4:ආ එකේ කෙලින් කියනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41:ඈ ව්‍යවස්ථාවේ උප ලේඛණයේ නිෂ්චිතව දක්වා ඇති යම් ධූරයක් සඳහා පත් කරනු ලැබිය යුතු තැනැත්තන් සම්බන්ධයෙන් ජනාධිපති වරයා විසින් කරන ලද නිර්දේෂ සලකා බැලීම සහ එම නිර්දේශ අනුමත කිරීම හෝ අනුමත නොකිරීම." : එච්චරයි තියෙන්නෙ, එක්කො අනුමත කරනව, එක්කො අනුමත නොකරනව.

 මං කියන්නෙ දෙන්නෙක් ඡන්දයක් පාවිච්චි නොකර ඉන්න හැදුවෙ එතනත් කුමන්ත්‍රණයක් තිබ්බෙ. හතර දෙනෙක් අනුමත කෙරුවහම දෙන්නෙක් සද්ද නැතුව හිටියොත්, එතකොට හිතුව කථානායකටත් එයාගෙ ඡන්දය පාවිච්චි කරන්න බෑරි වෙනව කියල. ඒකත් කුමන්ත්‍රණයක් කියලයි මං කියන්නෙ. මේ ඒගොල්ලන්ම හදපු, ඒගොල්ලන්ම ගහපු ගැසට් එකේ මෙච්චර පැහැදිලිව තියෙද්දි ඒ සාමාජිකයින් දෙදෙනා මේ ආකාරයෙන් හැසිරුණානම් අපි බලන්න ඕනෙ ඒ සාමාජිකයන් මෙම ව්‍යවස්ථා සභාවේ සිටිය යුතුද නැද්ද කියන එක.

 
ඉතිං පොලිස්පති පත් කිරීම ගැනත් මට කියන්න තියෙන්නෙ ඒ ටිකයි. ඊට ඉස්සල්ලා සභාව මුණගැසුණ වෙලාවෙ Minuets වලත් ඒක තියෙනව. ඒකෙ නමින්ම ඒගොල්ල කියනව අපි මේ දේට එකඟ වෙනව කියල. ඉතිං මම වැඩිපුර ඕක ගැන කථා කරන්න යන්නෙ නෑ පොලිස්පති තුමාව පත් කිරීමයි, Online Safty Bill එකයි බොහොම පැහැදිලිව තියෙනව හරි විදිහට මේ දේ කෙරිල තියෙනව කියල. ඉතිං ඒ දෙක උඩ මං හිතන්නෙ නෑ කථානායක තුමාට විශ්වාසභංගයක් ගේන්න පුළුවන් කියල.


නැදුන්කේනි පොලිස් වසමේ සිදුවෙච්ච දේ ...


අනිත් එක මේ විවාදය අතරතුර වැඩියෙන් කථාකරපු දෙයක් තියෙනව නැදුන්කේනි පොලිස් වසමෙ සිදුවෙච්ච සිදුවීමක්. මෙම විවාදය පටන් ගන්න දවසෙම අපි දැක්ක විපක්සෙ මන්ත්‍රීවරු මෙතනට ඇවිල්ල කෑ ගහල නව දෙනෙක්ව අත්අඩංගුවට ගත්ත කියල කෝවිලක් වඳින්න ගිහිල්ල කියල. විපක්ෂෙ මන්ත්‍රීවරුන් මට ඇහුණා කියනව කෝවිලක් වඳින්න ගිය නවදෙනෙක්ව අත්අඩංගුවට ගත්ත එක වැරදියි කියල.

 නමුත් මම කියන්න ඕනෙ මෙතන කිසිම කෝවිලක් නෑ. මෙතන තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අයිති තැනක්. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන්ම කියල තියෙනව "අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාරයක නටඹුන් ලෙස සැලකිය හැකි උළු, පැරණි වහළ කොටස්, ගොඩනැගිල්ලක් පැවති බවට හඳුණාගෙන ඇති ගල් තලාව මතුපිට කැපුම් සලකුණු....." කියල විස්තරයක් තියෙනව. දැන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවම කියනව මේක බෞද්ධ විහාරයක නටඹුන් තියෙන තැනක් කියල. එතකොට තව කට්ටියක් හදනව එතනට ගිහිල්ලා ඒක ඒගොල්ලන්ගෙ වැඳුම් පිදුම් කරන තැනක් කියල කියන්න. මේකෙ ඉතිහාසය මේකට අවුරුදු ගාණක් තිස්සෙ නඩු කියනව.

 
මේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙ ලිපියෙම තියෙනව මෙම ගොඩනැගිලි පිහිටි ගල් තලාවේ අනවසරයෙන් 2023 වසරෙ තැන්පත් කර ඇති ශිව ලිංගයට පුද පූජා කිරීමට සැරසෙනව කියල.

එතකොට 2023 තමයි ශිව ලිංගයක් එතනට තියල මේ ප්‍රශ්නය ඇති උණේ. එතකොට අපේ ස්වාමීන්වහන්සේලා ලෑස්ති උනා බස් වලින් නැඟල ගිහිල්ල එතනට මේකට විරෝධය ප්‍රකාශ කරන්න. බොහොම අමාරුවෙන් අපි පැති දෙකක් ඝඨ්ඨනයක් ඇති වෙන එක නවත්තගත්තෙ. ඊට පස්සෙ උනේ මාර්තු 8 වෙනිදා මහා ශිව රාත්‍රී දිනයට පෙර මේගොල්ලන් උසාවියෙ තියෙන නඩුවකට මෝසමක් ඉදිරිපත් කෙරුවා.

මෝසමක් ඉදිරිපත් කෙරුවෙ මදිමුඝරාසා නැමැති පූජකවරයා. 4 වෙනිදා මෝසමක් ඉදිරිපත් කරල උසාවියෙන් ඉල්ලුව අවසර මෙතනට ගිහිල්ල මේ පූජාවල් පවත්වන්න. උසාවියෙන් ඒකට ඉඩ දුන්නෑ.

වව්නියාවෙ මහේස්ත්‍රාත්තුමිය සුබ්‍රමනියම් ප්‍රීතිවී මහත්මිය මේකට අවසර දුන්නෙ නෑ. ඊට පස්සෙත් 8වෙනිදා 400ක් පමණ එම තැනට ඇවිල්ල පුද පූජා පවත්වන්න ගත්ත දවල් වරුවෙ. ඒකෙ උසාවියෙ කලින් දුන්න නියෝගයක තියෙනව හවස 6න් පස්සෙ කරුවල වැටුනට පස්සෙ ඒ පැත්තට යන්න බෑ කියල. මේගොල්ලන් 400ක් විතර ඇවිල්ලා, හය විතර වෙනකොට කට්ටිය ගිහිල්ලා 40ක් විතර ඉතුරු උනා. ඒ හතලිස් දෙනා මොනවද කෙරුවෙ ලිප් පත්තු කරගෙන කෑම උයන්න හදල ජෙනරේටර් එකක් ගෙනල්ල බල්බ් දාන්න පටන්ගෙන එවැනි සිදුවීමක් උනහම එතන හිටියා අපේ පුරාවිද්‍යා අයයි , වන රක්ෂණ අයයි සියලු දෙනාම පොලිසියට දැන්වුවා මේක වහාම නවත්තන්න. එතකොට අපිට සිද්ද උනා මේ අට දෙනාද නව දෙනාද අත්අඩංගුවට ගන්න. අරගෙන අපි උසාවියට ඉදිරිපත් කෙරුවහම උසාවියේ මහේස්ත්‍රාත් තුමිය තමයි මේගොල්ලන්ව රිමාන්ඩ් කෙරුවෙ. දෙවනි පාර නඩුව ආවාම නැවත රිමාන්ඩ් කෙරුවා. ඉතිං මේ කරුණු සියළු දේ සලකලා බැලුවොත් පෙනෙයි නීති කඩල පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් බෞද්ධ ස්ථානයක් කියන තැනකට ගිහිල්ල මේ ප්‍රශ්නය ඇති කරල තියෙන්නෙ.

 මේ වගේ ප්‍රශ්න උතුරු, නැගෙනහිර පළාතෙන් අපිට නිතරම එනව. මට එක දෙයක් කියන්න පුළුවන් අපිට එවැනි දේවල් වලට ඉඩ දෙන්න බෑ. එම බෞද්ධ ස්ථාන වලට ගිහිල්ල මේ වගේ කලබල කරන්න, ඊළඟට බෞද්ධයන් කිපිල ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ අරින්න බෑ. ඒක නිසා මං අදත් කියන්නෙ හෙට මෙවැනි දෙයක් කෙරුවොත් අපි හෙටත් අත්අඩංගුවට ගන්නව. ඒ වගේම හින්දු ස්ථාන වලට ගිහිල්ල වෙනන කවුරුහරි කරදර කෙරුවොත් ඒ ප්‍රශ්නෙත් අපි ඒ විදිහටම සලකන්නෙ. නීතිය ඔක්කෝටම එකයි.

 
ඒක හින්දා මේ ප්‍රශ්නෙ බොරුවට ඇදගෙන යා යුතු නෑ. මේක උසාවියෙ තියෙන ප්‍රශ්නයක්, උසාවි නියෝගය දීල තියෙනව, අපි අත්අඩංගුවට අද අරගෙන තියෙන්නෙ උසාවි නියෝගය කඩ කිරීම උඩ. ඒක තමයි අපි දාපු එක charge එකක්.

මේ විපක්ෂයෙත් සමහර උදවිය කෑගැහුවා කෝවිලක් වඳින්න ගිය තරුණයන්ව අත්අඩංගුවට ගත්ත කියල. එතන කිසිම කෝවිලක් නෑ එතන තියෙන්නෙ නිකං කැලයක් විතරයි. චෛත්‍යක පාදම තියෙනව, ලෙන් වගයක් තියෙනව ඒ ටික ඇරෙන්න එතන කිසි දෙයක් නෑ.

ඉතිං බොරු තොරතුරු  ගෙනල්ල මේ පාර්ලිමේන්තුවෙ කියල ඒක සමාජගත කරන්න හදල නිකං බොරු ප්‍රශ්න ඇති කළ යුතු නෑ. ඉතිං මම ඉල්ලා සිටින්නෙ විපක්ෂයෙන් උනත් මින් ඉදිරියටත් කරුණාකරල උතුරුකරේ ඡන්ද බලාගෙන මේ වගේ බොරු ප්‍රචාර කරන්න හදන්න එපා. ඒ මොකෝ අපි කවුරුත් ඡන්ද බලාගෙන වැඩ කරන්න ගියොත් එහෙම මෙවැනි ප්‍රශ්න කවදාවත් විසඳගන්න බැරුව දිගින් දිගටම යනව.

අවසාන වශයෙන් නැවතත් මං කියන්නෙ Online Safty Bill එකයි පොලිස්පති තුමා පත් කිරීමයි නීත්‍යානුකූලව වෙලා තියෙනව. මං හිතන්නෙ නෑ කථානායක තුමා කිසිම වැරැද්දක් එතන කරල තියෙනව කියල.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image